Sunday, October 4, 2020

ඖෂධයක් ලෙසින් බණ්ඩක්කාවල ගුණ

 

බණ්ඩක්කා කියන්නේ අපේ සමාජයේ ඉතාම ජනප්‍රිය එළවළුවක් . නමුත් කීයෙන් කී දෙනා ද දන්නෙ බණ්ඩක්කා ඉතාම හොඳ බෙහෙතක් බව. බණ්ඩක්කා ලංකාවේ විතරක් නෙවෙයි ඉන්දියාවේත් ජනප්‍රිය එළවළුවක්. අද අපි කතා කරන්නට යන්නේ සූපවේදය සමඟ බැඳුණු බණ්ඩක්කා ගැන නෙමෙයි ඖෂධයක් ලෙසින් බණ්ඩක්කාවල ගුණය පිළිබඳවයි.

බණ්ඩක්කා පාට දෙකකින් තිබුනත් ලංකාවේ ව්‍යාප්ත වෙලා තියෙන්නෙ කොළ පැහැති ප්‍රභේදය. බණ්ඩක්කා කියන්නේ ශරීරයට සිසිල් ගුණය යහමින් ලබා දෙන ආහාරයක්. මුත්‍ර දැවිල්ල, මුත්‍ර පිට කිරීමේ අපහසුතා, ශරීරයේ ඇති උෂ්ණාධික බව ට ඖෂධයක් වශයෙන් බණ්ඩක්කා ඉතාම ගුණදායකයි. තදබල විදිහට පීනස සෙම සහිත කැස්ස තියෙන රෝගීන්ට ඖෂධ විදියට තනිකරම බණ්ඩක්කා භාවිතයට ගන්නට බැහැ. ඒක ගුණයි නමුත් ව්‍යාංජනයක් විදිහට මිශ්‍ර කරන්න බැරි කමක් නෑ. ගැස්ට්‍රයිටිස් ආවම ඇතිවන අපහසුතාව බොහොමයක් දෙනා අත් දැකීමෙන් දන්නා දෙයක්. ඔක්කාරය, හුස්ම ගැනීමේ අපහසුතාව මෙවැනි තත්ත්වයක දී අත් විදින්නට පුළුවන්. 


නිවසේ මුළුතැන්ගෙයි ඉතාම ගුණදායක ඖෂධයක් තිබිලත් ඔබ දැනගෙන හිටියෙ නැහැ නේද? කලින් සදහන් කළ රෝග ලක්ෂණ තියෙනවනම් බණ්ඩක්කා හතරක් පහක් සිහින්ව පෙති ගහන්න. මෙය පිරිසිදු ජලය සහිත වීදුරුවකට දමා පැයක් පමණ වසා තබන්න. අනතුරුව එම ජලය පානය කරන්න. මුත්‍ර දැවිල්ල වගේ මූත්‍ර පිට කිරීමේ අපහසුතාවයට, මුත්‍රා මඳ වශයෙන් පිටවීමට මෙම ප්‍රතිකාරය කදිමයි ක්‍රමයක්. මුත්‍ර සමග ශුක්‍රාණු පිට වීමෙන් පීඩා විඳින පුරුෂයන් සඳහා ද මෙම ප්‍රතිකාරය යොදාගන්නට පුළුවන්. 



ඒ වගේම කාන්තාවන්ට බලපාන රෝග තත්ත්වයක් තමයි ඇඟ උනුකරවා යාම සුද යාම කියලා කියන්නෙත් මේකටම තමයි. මේ තත්ත්වය නිසා කාන්තා පක්ෂය බරපතළ විදියට කායික හා මානසික පීඩා විඳිනවා. ඒ අයට  මෙම ප්‍රතිකාරය යොදාගන්න පුලුවන්. දින කිහිපයක්ම මේ විදියට උදේ කාලයේ කළ හැකි නම් ප්‍රශස්ත ප්‍රතිඵල අත්විඳීමට හැකි බව කියැවෙනවා. එසේම වඩා නොපැසුණු බණ්ඩක්කා කරල් කපා සලාදයක් ලෙසද මෙම රෝග තත්ත්වයන් සඳහා යොදාගන්නට පුළුවන්.

මූලාශ්‍ර - වෙද අත් පොත...


Monday, September 28, 2020

කස කසා ඇට වල ඔබ නොදත් ගුණ.....


බොහෝ දෙනා කස කසා ඇට යොදාගනු ලබන්නේ ආහාර වර්ග හා බීම වර්ගවල අලංකාරය සඳහාය. නමුත් බොහෝ දෙනා නොදැන සිටි කරුණක් වන්නේ කස කසා ඇටවල ඉතා ගුණදායක පෝෂ්‍ය පදාර්ථයන් ඇති බවය.

හින්දි භාෂාවෙන් කස කසා ඇට හඳුන්වනු ලබන්නේ කුෂ් කුෂ් ලෙසිනි. කස කසා ඇට නිල් සහ සුදු වර්ණවලින් යුක්තය. පෝෂ්‍ය ගුණයන් කිහිපයක්ම කස කසා ඇටවල අඩංගුව පවතී.

කස කසා ඇටවල තෙල් මඟින් කාන්තාවන්ගේ සරුභාවය වැඩිදියුණු කරගත හැක. විශේෂයෙන් පැලෝපීය නාලවල ඇති අපද්‍රව්‍ය කොටස, අනවශ්‍ය කොටස, දියකර හැරීමේ හැකියාවත් කසකසා ඇටවල අන්තර්ගතව පවතී.

ලිංගික ශක්තිය උත්තේජනය කිරීමේ හැකියාවත් කසකසා ඇටවල පවතී. කස කසා වල ඇත්තේ ජලයේ දිය නොවන කෙඳිවන අතර ඒවා ආහාර දිරවීම සඳහා ඉතා ප්‍රයෝජනවත් වේ. එමඟින් මළ හොඳින් පිටකිරීමට උදව් කෙරේ. අර්ශස් ඇති රෝගීන්ට කස කසා ඇට ඉතා ගුණදායක වේ.

කස කසා ඇට අඩංගු බීම වර්ග පානය කිරීමෙන් කෝටිසෝල් (හෝමෝනය) පහළ බසී. එමඟින් මානසික පීඩනය දුරැකර ආතතිය අඩුකර සිරුර නිශ්චලතාවයට පත්කර නින්ද හොඳින් ඇති කෙරේ. මේ නිසා නින්දට පෙර කස කසා ඇට සහිත බීම වීදුරුවක් පනය කර නින්දට යාමෙන් මහන්සිය දුරැකර සුවබර නින්දක් උදාකරයි.

නිතරම තුවාල හටගන්නා රෝගීන්ටද කස කසා ඇට සහිත බීම ඉතා ගුණදායක වේ. එමඟින් සිරුර සිසිල් කිරීමක් සිදුවන අතර විශේෂයෙන් මුඛයේ තුවාල ඉතා ගුණදායක වේ. මෙහි කාබෝහයිඩ්‍රේට් ඇතුළු බොහෝ පෝෂණ සංඝටක අන්තර්ගතව පවතී. එම නිසා ප්‍රතිශක්තිය ඇතිකර රෝග ඇතිවීම වළකාලයි. මොළයේ ක්‍රියාකාරීත්වයට උදව් කෙරේ. මේ නිසා බුද්ධි වර්ධනය සඳහා බොහෝ උපකාරී වේ.

සැලකිය යුතු ප්‍රමාණයේ කැල්සියම් අන්තර්ගතව පැවතීමෙන් බොහෝ රෝග වළක්වා ගැනීමට උදව් කෙරේ. පැලෝපීය නාල අවහිරතා මඟහැරේ. ආර්තවහරණයෙන් පසුව කාන්තාවන්ට ඇතිවන අස්ථි සම්බන්ධ රෝග සඳහාද ඉතා ගුණදායක වේ. සැලකිය යුතු කෙඳි ප්‍රමාණයක් අඩංගු වීම නිසා දියවැඩියා රෝගීන්ටද ගුණදායක වේ.

හිසකෙස්වලට මෙන්ම සමටද ඉතා ගුණදායක වේ. දද කුෂ්ඨ ඇතිවීම වළකාලයි. විටමින් බී 6 අඩංගු වීම හේතුවෙන් රක්තහීනතාවයට ඉතා ගුණදායක වේ. පිළිකා නාශක ගුණයත් කස කසා ඇටවල පවතී. විටමින් බී සහ කැල්සියම් මඟින් ස්නායු පද්ධතියේ රෝග ගණනාවකට සුවය ලබාදේ. තයිරොයිඩ් ග්‍රන්ථයේ ක්‍රියාකාරීත්වයට මෙය උදව් කෙරේ. පෙනීමට ඉතා ගුණදායක වේ.

නමුත් කිසි විටකත් එක දිගට සෑම දිනකම කස කසා ඇට ගැනීමත් බොහෝ ප්‍රමාණයක් එක්වරම ගැනීමත් අහිතකරය.


උපුටා ගැනීමකි.

Friday, September 4, 2020

රෝග රැසකට දිව ඔසුවක්.....

 


අද වෙද අරණ පිටුවෙන් ගෙන එන්නේ කොත්තමල්ලි ශාකයේ ගුණ පිළිබදවයි. කොත්තමල්ලි යනු අප කොයි කවුරුත් හොඳින් හඳුනන ඖෂධයකි. ආහාර රසවත් කරන තුනපහ මිශ්‍රණයේ වැඩි ඉඩක් වෙන්වනනේ කොත්තමල්ලි සඳහා ය. ඒ නිසාම ඖෂධයක් ලෙස පමණක් නොව ආහාරයක් ලෙස ද කොත්තමල්ලි මුළුතැන්ගේ තුළ නිරන්තරව භාවිතයට ගැනිණි. වැසි වැටෙන්නට පටන්ගත් සැණින් කොත්තමල්ලී මිටක් සමඟ ගෙවත්තේ වවා තිබූ අමු ඉඟුරු කැබැල්ලක් තලා භාජනයකට දමා තම්බා ගැනීමත්, ඉන්පසුව සීනි සමඟ හෝ නැතිව පානය කිරීමත් අද ද ගැමි නිවෙස් වල සිදුකෙරෙන සුපුරුදු කටයුත්තකි.

ආහාර රස ගැන්වීම මෙන්ම සුවඳවත් කිරීම සඳහා යොදා ගැනෙන තුනපහ සඳහා ගැනෙන මූලික කුළුබඩු වර්ගයක් ලෙස ද කොත්තමල්ලි යොදා ගැනේ. මෙහි ඇති ජීර්ණ පද්ධතිය උත්තේජනය කිරීම මඟින් ආහාර දිරවීමට අනුබල දීමේ ගුණය වඩා ප්‍රයෝජනවත් ය. මෙහි ඇට හෝ කුඩු පමණක් නොව කොත්තමල්ලි කොළ ද ආහාර රසවත් කිරීම පිණිස බටහිර රටවල පවා යොදා ගැනෙයි.

මණ්‌ඩුකපර්ණී කුලයට අයත් කොත්තමල්ලි ඉන්දියාවේ සහ පකිස්‌ථානයේ සෑම ප්‍රදේශයන්හිම වැවෙනු ලැබේ. ධාන්‍යා, ධාන්‍යක, ආර්ද්‍රිකා, කුස්‌තුම්බුරු ආදී සංස්‌කෘත නාම වලින් හඳුන්වනු ලබන අතර කොත්තමල්ලි යනු ද්‍රවිඩ නාමයයි. සිංහල නම ‘කොතඹුරු’ වුවද බොහෝ දෙනා භාවිත කරන්නේ කොත්තමල්ලි යන නමයි. ඉංග්‍රීසියෙන් Coriander ලෙස හදුන්වන කොත්තමල්ලී ලංකාවේ යහමින් නොවැවෙන නමුදු අතීතයේ සිටම ඉන්දියාවෙන් හෝ පාකිස්තානයෙන් ආනයනය කොට භාවිත කොට තිබේ. එසේම කොත්තමල්ලී ඖෂධයක්, සාම්ප්‍රදායික පානයක් ලෙස භාවිතයට ගැනීම ලොව බොහෝ රටවල ජනතාවගේ පුරුද්දකි.

විද්‍යාත්මක වශයෙන් සැලකීමේදී එහි ඇති ප්‍රතිප්‍රදාහක ගුණත්, විටමින් C වලින් අධික වීමත්, විටමින් B අඩංගු සංකිර්ණ වලින් පරිපූර්ණ වීමත් නිසා බටහිර වෛද්‍ය විද්‍යාවේ පිළිගැනීම් අනුවද කොත්තමල්ලි බැහැර නොකළ යුතු ඖෂධීය පරිපූරකයකි.කොත්තමල්ලි කොළවල යකඩ, මැග්නීසියම්, මැංගනීස් සහ විටමින් ඒ, බී, සී අඩංගු ය.

කොත්තමල්ලි වල කෂාය, තික්‌ත, කුළු, මධුර යන රස හතර ම පවතී. වීර්යයෙන් උෂ්ණය; විපාකයෙන් මධුරය; ගුණයෙන් ලඝු සහ ස්නිග්ධ ය. වැසි සමයත් සමඟ කොත්තමල්ලී සහ ඉඟුරු එකට තම්බා පානය කිරීමෙන් ශරීරයට ඇතිවන ප්‍රධාන ප්‍රයෝජන දෙකකි. පළමු වැන්න නම් වැස්සත් සමඟ වෙනස්වන පරිසර උෂ්ණත්වය නිසා ශරීරයේ උණුසුම රැක ගැනීමයි. ශරීරයේ උණුසුම නිසි පරිදි පවත්වාගැනීමෙන් ප්‍රතිශක්තිකරණ හැකියාව වර්ධනය වීම දෙවැනි ගුණාංගයයි. මේ නිසා වැසි සමයක් නොවූවද නිරන්තරව වැළඳෙන සෙම් රෝග සහ උණ රෝග වළින් ආරක්ෂා වීමට ඉඟුරු කොත්තමල්ලී පානය වැදගත් වේ.

බොහෝ දෙනා සැහැල්ලුවෙන් සැලකුවද කොත්තමල්ලී සතුව සුවිශේෂ ගුණාංග ගණනාවක් ඇත. ශරිරයට අවශ්‍ය පෝෂණ ගුණාංග පවා ලබාදීමේ හැකියාවක් කොත්තමල්ලි සතුව ඇත. මවගේ මිය යෑම නිසා හෝ වෙනත් හේතුවක් නිසා මව්කිරි නොලැබී යන ළදරුවන්ට අතිතයේ දී ලබාදුන් ආහාර පරිපූරකය වූයේ කොත්තමල්ලී තැම්බූ වතුරයි. සමහරවිට මාස 6-7ක කාලයක් ම කොත්තමල්ලි තැම්බූ වතුරෙන් පණ ගැටගසාගත් ළදරුවන් කෘතිම ළදරු ආහාර පරිපූරක නොවූ ඒ කාලයේ අපේ ගම්වල විසූහ. “කොත්තමල්ලි වතුරෙන් හැදුණු එකා” වැනි තවමත් අතරින් පතර ඇසෙන ගැමි කියමන් වලට පාදකවී ඇත්තේ මේ කරුණයි.

කොත්තමල්ලිවල පවතින උෂ්ණ වීර්යය නිසා ශරීරයේ වාත කෝපයෙන් හටගන්නා කැක්කුම් සහ වේදනා සමනය වේ. එසේම එහි ඇති මධුර රස හේතුවෙන් ශරීරයේ ඇතිවන පිත් කෝප සමනය කළ හැකිය. මේ අනුව කොත්තමල්ලී තම්බා බීමෙන් වුවද ශරීරයේ තුන්දොස් සමනය කළ හැකිය.,

එසේම අපගේ මොළයේ ක්‍රියාකාරීත්වය ප්‍රශස්තව පවත්වා ගැනීමටද කොත්තමල්ලී වලට හැකියාවක් ඇත. වැසි සමයේදී අපිරිසිදු වතුර පානයෙන් ඇතිවන මුත්‍රා ආසාදන වෙතොත් ඒවා සුවකිරිමට ද කොත්තමල්ලි තම්බා පානය කිරීම සුදුසු ය. ආහාරයේ වස විෂ උරාගන්නා අක්මාව යළි ප්‍රකෘතිමත් කිරිමට ද කොත්තමල්ලී වලට හැකියාවක් ඇත. වෙනත් බොහෝ ඖෂධීය ගුණ දෙන ශාක හෝ පත්‍ර වර්ග නිරන්තරව භාවිතය නොසුදුසු යැයි නිර්දේශ කළද කොත්තමල්ලී නිරන්තර භාවිතයෙන් ශරිරයට කිසිදු අගුණයක් ඇති නොවේ. වයස් භේදයකින් තොරව ළදරුවාගේ සිට මහල්ලා දක්වා සැමටම කොත්තමල්ලී පානය නිර්දේශ කළ හැකිය.

වැසි සමයේ අපිරිසිදු ආහාර ගැනීම නිසා ඇතිවන අජිර්ණ, අතීසාර, පාචන අවස්ථා වලදී ඉරිවේරිය සහ කොත්තමල්ලි සම පමණ ගෙන තම්බා බීමෙන් සුවය සලසා ගත හැකිය. කොත්තමල්ලි ඇට, හොඳින් වියලූ හීන් අරත්ත අල, වියළි ඉඟුරු, වියළි වෙනිවැල්ගැට සම පමණ ගෙන කුඩු කර තබාගෙන කෝපි මෙන් වත්කර බීමට ගැනීමෙන් ශරිර පද්ධති වල ක්‍රියාකාරීත්වය ප්‍රකෘතිමත් ව පවත්වා ගත හැකිය. තේ වෙනුවට හොඳ විකල්පයක් ලෙසද මෙය භාවිතයට ගත හැකිය. එදිනෙදා වැළඳෙන ශ්වසන අපහසුතා, හිසරදය, ඇඟපත දැවිල්ල, මහන්සිය ආදියට ඔසුවක් ලෙස ද මේ සංයෝගය යෝග්‍ය වේ.

අම්ලපිත්ත රෝගය සඳහා කොත්තමල්ලි තම්බා බීමෙන් සහනය සලසා ගත හැකිය. ඇඟපතේ දැවිල්ල ඇති අවස්ථා වල මේ වතුර හොඳින් නිවෙන්නට හැර සීනි සමඟ පානය සුදුසුය. කාන්තාවන්ගේ මාසික වේදනා අවස්ථා වලදී කොත්තමල්ලි කුඩු මේස හැන්දක් පමණ පිරිසිදු වීදුරුවකට දමා පැය අටක් පමණ තබා උදෑසනින් හිස්බඩ පානය කිරීම මඟින් ඇතිවන අධික වේදනාව සමනය කරගත හැකිය. වකුගඩුවල අපහසුතා, ඉදිමීම් ඇති විට කොත්තමල්ලි හා පත්පඩාගම්, බෙලිමුල් තම්බා බීමෙන් සහනය ලබාගන්නට පුළුවන. පැපොල රෝගය වැළඳුණු විටෙකදි පත්පාඩගම් සමඟ කොත්තමල්ලී තම්බා දෙන්නේ තුවාල වල වේදනාව අඩුකර ගැනීම පිණිස ය.

කොත්තමල්ලි ඇටයේ මෙන්ම කොළයේ ද බොහෝ ගුණ ඇත. කොළ පළාවක් ලෙස සකස් කර ආහාරට එක් කරගත හැකිය. ශක්තිය වර්ධනය කිරීමට මෙන්ම ආහාර ජීර්ණ ක්‍රියාවලියට වැදගත් වේ. සුප් වර්ග පිළියෙල කරන විට භාවිත කිරීමෙන් ප්‍රශස්ත රසයක් මෙන්ම ඖෂධීය ගුණය ද නොඅඩුව ලැබේ.

කොත්තමල්ලි කොළ පමණක්‌ නොව මුළු පැළෑටිය ම ආහාරමය සහ ඖෂධිය වශයෙන් ප්‍රයෝජනයට ගත හැකිය. ආමාශ හිතකාරීය; කෑම රුචිය වඩවන අතර ශාරීරික බාහිර හා අභ්‍යන්තර ප්‍රදාහ වළකන, කොලෙස්ටරෝල් හෙවත් මේද වෘද්ධි, දියවැඩියා හෙවත් මධුමේහය පාලනය කිරීමට ද අජීර්ණ, මුඛ තුවාල, පාණ්‌ඩුව, අක්‍ෂි රෝග ආදියට ද මානසික සුවතාව වර්ධනය කරගැනීමට ද කොත්තමල්ලි කොළ ආහාරයට එකතු කරගත හැකිය.

ඌෂ්ණය නිසා කටේ ඇතිවන තුවාල තත්ත්වයන් සමනය කරන අතර මුවට නැවුම් බවක් ලබා දෙ කොත්තමල්ලි සිරුරේ අස්ථි නිරෝගී කරන අතර පාචනය වැනි රෝග ඇති කරන විෂබීජ නසයි. ඩයරියා රෝග තත්ත්වය සුව කිරීමට ද කොත්තමල්ලි වලට හැකියාව ඇත. ඇස් රෝගවලින් දෑස් ආරක්ෂාකර ගැනීමට ද කොත්තමල්ලි භාවිතය ඔබට ප්‍රයෝජනවත් වේ. අධි රුධිර පීඩනය අඩු කිරීමට ද සරම්ප රෝගය වැළැක්වීමට ද කොත්තමල්ලි වලට පුළුවන. රසායන ද්‍රව්‍ය වෙනුවට ස්වභාවික ශාක සාර මඟින්, අපගේ සෞඛ්‍ය ගැටලු සඳහා පිළියම් යොදන්නට හැකිනම් එය දිගුකාලීන සුව දිවියකට මඟ පාදනු ඇත.


උපුටා ගැනීමකි.



Monday, August 10, 2020

ඖෂධීය ගුණ අනූන අබ....



 වෙද අරණ පිටුවට මෙවර ප්‍රස්තූතය වන්නේ අබ ශාකය ගැනයි. සිංහලයේ රසකාරක අතර අබ වලට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. මුළුතැන්ගෙයට අබ නැතිවම බැරිය. ව්‍යංජනයක් තෙම්පරාදු කරන විට අබ නැත්නම් ඒ තෙම්පරාදු වෙන් වැඩක් නැත. අබ රසයට එපමණටම අපේ දිව හුරු වී තිබේ. තරු පන්තියේ හෝටල් වලට ද අබ මිශ්‍රණය අත්‍යාවශ්‍ය  රසකාරකයකි.

බ්‍රැසිකා ජුන්සෙයා යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන අබ ශාකය අයත් වන්නේ brassicaceae කුලයට.

අබ වර්ග හඳුනාගන්න 

මෙම ශාක ගණයට ඇතුළත් වන අබ විශේෂ ගණනාවකි. අප අතරේ භාවිතා වන බ්‍රැසිකා ජුන්සෙයා.එළ අබ (brassica alba), කළු අබ (brassica nigra) පෙන්වා දීමට පුළුවන්. වාර්ෂික ශාක ගණයට වැටෙන අබ අතු ඉති විහිදා අඩි තුනක් හතරක් උසට වැවෙන ශාකයකි. කුඩා කිනිත්තක කහපාට කුඩා මල් හටගනී. සෙන්ටිමීටර් හතරක් පමණ ප්‍රමාණයේ කරල් දක්නට ලැබේ. ආර්ථික බෝගයක් ලෙසින් ඉන්දියාවේ චිරප්‍රසිද්ධය. උත්තර ප්‍රදේශ්, බෙංගාලයේ සහ බිහාර් යන ප්‍රාන්ත එහිදී ප්‍රමුඛත්වයක් ගනී. ලංකාවේ ද වියළි කලාපයේ හේන්වල සුළු පරිමාණයෙන් වගා කරනු දක්නට ලැබේ. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී අබ වලට ඉතා ඉහළ වැදගත්කමක් කරගෙන සිටි. සිද්ධාර්ථ සහ සර්ෂප යන නම්වලින් සංස්කෘතයෙන් ලියවී ඇති වෙද පොත් වල හදුන්වා දී තිබේ. එම ග්‍රන්ථ වල අබ වර්ග හතරක් සඳහන් කර ඇත. ඒවායේ ගුණ අගුණ ද වෙන් වෙන් වශයෙන් දක්වා තිබීම පහසුවකි. ඒවා නම් රාජිකා, ගෞර, සිද්ධාර්ථ, රක්ත සිද්ධාර්ථ සහ කෘෂ්ණ රාජිකා ලෙසිනි. දැන් ඒවායේ විශේෂතා පිළිබද විමසීමකට යොමු වෙමු.

රාජිකා සාමාන්‍ය අබ 

මේ අපි ප්‍රයෝජනයට ගන්නා අබ විශේෂයයි. එය රසයෙන් තිත්තය. ඌෂ්ණ ගුණ ඇත. කුසගිනි වඩයි. පිත වර්ධනය කරන අතර සෙම් ආශ්‍රිත රෝග සමනය කිරීම සිදුවේ. කුරුමිණි රෝග වලට ගුණ ලබාදෙන බව සඳහන්ය. ප්ලීහාවේ රෝග, වණ සහ සුව කිරීම සඳහා භාවිතා වේ. 

ගෞර සිද්ධාර්ථ එළ අබ

උෂ්ණ ගුණැතිය. සෙම සහ වාතය සමනය කර ගුණ ලබාදේ. කුරුමිණි රෝග සමනය කරයි. ආමාශයේ හා අන්ත්‍රවල දී ආහාර නිසි ලෙස ජීර්ණය නොවීම හේතුවෙන් හටගන්නා ආමවාත අවස්ථාවේදී, කනේ ආබාධ, ශීර්ෂාබාධ සහ කුෂ්ඨ රෝග සඳහාද ගුණ ලබාදේ. 

රක්ත සිද්ධාර්ථ රතු අබ

සැර අධිකයි. පිත සහ සෙම සමනය කරයි. කුසගිනි වඩන අතර කුරුමිණි රෝග සහ කුෂ්ඨ රෝග සඳහා ගුණ ලබාදේ. 

කෘෂ්ණ රාජිකා කළු අබ 

රක්ත සිද්ධාර්ථ සේම ඇර අධිකය. පිත, සෙම සමනය කරයි. රතු අබ ගුණයම ඇත. 


ආයුර්වේදයේ දී අබ බහුලවම භාවිතා වන්නේ තෙල් වශයෙන් ය. තෙල් සෑදීම සඳහා අබ අඹරා ලබාගන්නා පල්පය භාවිතාවේ. අමුද්‍රව්‍යයක් ලෙස යොදා තනන ප්‍රබලම ඔසුව මහා සිද්ධාර්ථ තෛලය යි. එල අබ ශුද්ධ වස්තුවක් ලෙස සැලකේ.

අඹරාගත් අබ මෙන්ම අබ තෙල් යොදා සකසන ආහාර වල රසය ගැන ඔබට අමුතුවෙන් කිවයුතු නොවේ. අබ තෙල්වල මේදය බහුල නැත. නිතර අබ තෙල් හෝ අබ භාවිතය සුදුසු නොවෙතත් මහත් සේ තරබාරු පුද්ගලයන් සඳහා සතියකට කිහිප දිනක් එබදු ආහාර ගැනීමෙන් තරබාරුබව යම් ප්‍රමාණයකට අඩුකර ගැනීමට හැකිවනු ඇත. අබ ස්වභාවයෙන්ම උෂ්ණ ගුණැති ය. එබැවින් අබ කුළුබඩුවක් ලෙසින් අවස්ථාවෝචිතව භාවිතා කිරීමට ගෘහනියෝ අත්දැකීමෙන්ම දනිති. ඒහෙත් ඖෂධයක් ලෙසින් භාවිතා කිරීමේදී වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ප්‍රඥාගෝචරය ක්‍රියාවකි. 

නමුත් පමණ ඉක්මවා පරිභෝජනය කිරීමෙන් නාසය, උගුර, උදරය ආදී අවයවයන් තුල ඇතිවන දැවිල්ල සමඟ මුත්‍රා දැවිල්ල ද හට ගැනීමේ ඉඩකඩ පවතී. එසේම වකුගඩු රෝගීන් මෙන්ම ගැස්ට්‍රයිටිස් රෝගයෙන් පෙළෙන රෝගීන් සඳහා ද අබ ආශ්‍රිත ඖෂධ ගුණදායක නැත. 

එසේම මතකයේ තබා ගත යුතු තවත් සුවිශේෂ උපදේශයක් දිය යුතුමය. බාහිර වශයෙන් ආලේප තැනීමේදී කළු අබ ද, ශරීර අභ්‍යන්තර රෝග සඳහා එළ අබ ද භාවිත කළ යුතු බව ආයුර්වේදයේ දක්වා තිබේ. මේ සියල්ල අතරේ තවත් සුවිශේෂ කර්තව්‍යක් සඳහා පැරැන්නන් යොදාගත් බවට සාධක තිබේ. එනම් ඇස් වහ, කට වහ දෝෂ දුරු කිරීම සඳහා අබ දුම නිවසට හා ඒ වටා ඇල්ලීම පුරාණ ගැමි සිරිතකි. ඒවායේ සත්‍ය තිබියදී එම දුම් ඇල්ලීම තුළින් විෂබීජ නැසීම සිදුවන බව නම් සත්‍යයකි. මේ බව නූතනයේ පරීක්ෂණ මගින් ද නිගමනය කර ඇත. 

අබ භාවිතයෙන් රුව වැඩීමේ සත්කාර ද කරගත හැකි බව ආයුර්වේදයේ දක්වා තිබේ. හන්දිපත් වේදනාවෙන් මිදී සිරුරේ කාර්යක්ෂමභාවය වැඩි කිරීමට ද, චර්මගත විෂබීජ මර්දනය, සමේ දීප්තිය වැඩි කිරීම, සම එල්ලා වැටීම ආදී තත්ත්වයන් යථා තත්ත්වයට ගැනීම සඳහා ද අබ ප්‍රයෝජනයට ගැනීමට පුළුවන. මෙම ප්‍රතිකාර ඉන්දියාවේ ඉතා දියුණු මට්ටමින් සිදු වේ.