Saturday, September 28, 2019
බාල තරුණ මහළු සැමට වද දෙන ඇදුම රෝගය
ජීවී බවේ ප්‍රධානතම ලක්ෂණය වනුයේ ශ්වසයයි. මෙම ශ්වසන ක්‍රියාවලියේ යම් වෙනස්කමක් හෙවත් විකෘතිතාවයක් ඇතිවීම ශ්වාස රෝග තත්වයේදී සිදු වේ. ආයූර්වේදයේ විස්තර කරන අන්දමට මෙබදු ශ්වාස රෝග කිහිපයකි. ඒ අතුරින් තමකශ්වාසය යනු සාමාන්‍ය ව්‍යවහරයේ පවතින ඇදුම රෝගය හා සමාන වන රෝග තත්වයක් ලෙස හදුනාගත හැකිය. එසේම මෙය බහුල වශයෙන් දැක ගත හැකි වූද රෝග තත්ත්වයකි. බෝවීමක් නොවන මෙම රෝගය ජීවිතයේ ඕනෑම අවස්ථාවකදී ඇතිවිය හැකි නමුත් බාල හා තරුණ වයස් වල වැඩි වශයෙන් ගොදුරුවේ. ඒ අතුරින් කාන්තා රෝගීන් ප්‍රමාණයෙන් වැඩි බවක් පෙනේ. එසේම මාස් ශුද්ධියේදී බලවත් වන අතර ගර්භනී කාලයේදී නතරවී නැවත ප්‍රසූතියෙන් පසු හටගන්නා අවස්ථාද පවතී. මෙය හදිසි භයානක රෝග අවස්ථාවක් නොවන නමුත් ඉමහත් කරදරකාරි රෝගයකි.
ඇදුම රෝගය කල්පවත්නා රෝග තත්ත්වයක් වන අතරම ශ්වසන පද්ධතියේ ශ්වාස නාල අශ්‍රිතව ඇතිවන සංකෝචනය වීම්, ආසාදන තත්ත්වය අධික ස්රාවය ආදී හේතූන් නිසා ස්වාභාවික වායු හුවමාරුව නිසි පරිදි සිදුනොවීම හෙවත් බාධා වීම මෙම තත්වයේදී ඇතිවන ක්රියාදාමයයි. මෙම රෝගය සෑදීම සදහා විවිධ හේතු සාධක බලපායි. මෙහිදී ඇදුම රෝගය හට ගැනීම සදහා බාලපාන හේතු සහ සුවවී තිබූ රෝගය නැවත ඇති කිරීමට බලපාන හේතු වශයෙන් දෙයාකාරයි. මේවා,
1. සහජ හේතු (ජානමය)
2. පාරිසරික හේතු
ලෙස හදුනාගත හැකිය.
ඇදුම රෝගයෙහි ප්‍රධාන වූද බලවත් වූද හේතුව වන්නේ සහජතාවයයි. එනම් මෙය පරපුරෙන් පරපුරට ගමන් කරන රෝග තත්ත්වයකි. එසේම මේ සදහා ආසාත්මිකතාව මෙන්ම විවිධ උත්කෝපනකාරී සාධකද හේතු විය හැකිය.
අප අවට පරිසරයේ ඇති අසාත්ම්යකාරක, දුම්, දූවිලි, දුම්කොළ දුම, සිසිල් මෙන්ම උණුසුම් වාතය, සුවද විලවුන් වර්ග, සුරතල් සතුන්ගේ ලොම්, මල් පරාග, අධික ව්‍යායාම, මානසික ආතතිය වැනි හේතු මේ සදහා බලපානු ලබයි.
හිස ආශ්‍රිතව පවතින සෙම් පදාර්ථ පෙනහළු වලට ගමන් කිරීම නිසා ඇතිවන ලය පීනස අවස්ථාව තමකශ්වාසයේ මුල් අවස්ථාව වශයෙන්ද හදුනාගත හැකිය. එසේම ස්නායු දුර්වලතා, ශාරීරික දුර්වලතාව වැනි හේතු ද බලපායි. මේවාට අමතරව රළු ආහාර, තෙල් බහුල ආහාර, අධික ශීතල ආහාර ආදිය රෝග කාරක වන බව පෙනේ. මෙවැනි රෝග හේතු නිසා රෝගය ඇතිවීම මෙන්ම යටපත්ව පැවති රෝගය යලි උත්සන්න වීමටද හේතු වේ.
වේගයෙන් හුස්ම ගැනීම හෙවත් හති හට ගැනීම බොහොමයක් රෝග අවස්ථාවලදී පොදු ලක්ෂණයක් නමුත් ඇදුම රෝගයේදී ප්‍රධාන වශයෙන් දැකගත හැකිවේ. මෙහෙදී හුස්ම ගැනීමේදී වඩා හුස්ම පිට කිරීමේදි වැඩි අපහසුතාවයක් පවතින බැවින් හතිය ඇති වේ. තදබල ඇදුම රෝගයේදී හුස්ම ගැනීම කොතරම් දුෂ්කර තත්ත්වයක පවතින්නේද කිවහොත් විටෙක හුස්ම හිරවී මිය යා හැකි යැයි රෝගියාට සිතේ. රෝගියාගේ නින්දට බාධා ඇති කරමින් රාත්‍රී කාලයේදී වැඩි වශයෙන් ඇතිවේ. එසේම ශීතකාලයට රෝගය උත්සන්න වේ. එනම් කාලගුණ විපර්යාස සෘතු විපර්යාස ආදිය රෝගී තත්ත්වය ඇතිකිරීම කෙරෙහි බලපායි. මෙහිදී තදබල සෙම් රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර සෙම්ප්‍රතිශ්‍යා ලක්ෂණ ද ඇති වේ. සෙම් අවරෝධය නිසා ඝුර් ඝුර් ශබ්දය පිටවීම සහ කැස්සද ඇතිවේ.
ස්වාසනාල සංකෝචනය වීම නිසා හුස්ම ගැනීමේ අපහසුව, පපුවේ ඇතිවන රූං රූං ශබ්ද, හතිය පපුව හිරවීම, කැස්ස ආදී ලක්ෂණ පෙන්නුම් කරයි. මෙම රෝගයට ඖෂධ ප්‍රතිකාර මගින් සුවයක් ලැබුනද සුළු සුළු රෝග ලක්ෂණ පැවතීම මෙන්ම දිගු ව්‍යායාමයකින් පසුව නීරෝගී පුද්ගලයකුට වඩා හුස්ම ගැනීමට අපහසුවේ.
ඇදුම රෝගියෙකු පරික්ෂාවට ලක් කිරීමේදි හතිය, ප්රාශ්වාසය දීර්ඝ වීම, හෘද ස්පන්දනය වේගවත්වීම, වෙද නලාවට ඇසෙන පෙනහළු ශබ්ද, ආශ්වාසයේදී දුර්වල නාඩි සහ ප්රාශ්වාසයෙදී ශක්තිමත් වන නාඩි වැටීමේ ක්‍රියාවලිය උරස් කුහරයේ පිම්බීම වැනි ලක්ෂණ වෛද්‍යවරුන් විසින් අවධානයට ලක් කරයි.
මෙහිදී රෝග තත්ත්වය වළක්වා ගැනීම සදහා ඔබගේ ඇවතුම් පැවතුම් රෝගයට ගැලපෙන ආකාරයට පවත්වාගත යුතුය. ආයුර්වේදයේ මෙම රෝගය සදහා ප්රශස්ත ප්‍රතිකාර ක්‍රම ඇති අතර නිසි වෛද්‍ය උපදෙස් මත පමණක් ඒවා ලබා ගැනීමෙන් රෝගය සුව කර ගැනීමට හැකියාව ලැබේ. ආයුර්වේද සහ දේශීය වෙදකමේ පවතින ඖෂධ ක්ලෝම නාලිකා පලල් කරවන පරිදි මෙන්ම ස්වාභාවික ප්‍රතිශක්තිය ඇතිකරවන පරිදි වීමද සුවිශේෂී වේ. රෝග කාරක් හේතුව දැනගත් පසු රෝගියාගේ තත්ත්වය පිළිබදව සලකා බලා එබදු ප්‍රතිකාර යෙදීම සුදුසු වේ.
( උපුටා ගැනීමකි )

No comments:
Post a Comment