Monday, August 10, 2020

ඖෂධීය ගුණ අනූන අබ....



 වෙද අරණ පිටුවට මෙවර ප්‍රස්තූතය වන්නේ අබ ශාකය ගැනයි. සිංහලයේ රසකාරක අතර අබ වලට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. මුළුතැන්ගෙයට අබ නැතිවම බැරිය. ව්‍යංජනයක් තෙම්පරාදු කරන විට අබ නැත්නම් ඒ තෙම්පරාදු වෙන් වැඩක් නැත. අබ රසයට එපමණටම අපේ දිව හුරු වී තිබේ. තරු පන්තියේ හෝටල් වලට ද අබ මිශ්‍රණය අත්‍යාවශ්‍ය  රසකාරකයකි.

බ්‍රැසිකා ජුන්සෙයා යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන අබ ශාකය අයත් වන්නේ brassicaceae කුලයට.

අබ වර්ග හඳුනාගන්න 

මෙම ශාක ගණයට ඇතුළත් වන අබ විශේෂ ගණනාවකි. අප අතරේ භාවිතා වන බ්‍රැසිකා ජුන්සෙයා.එළ අබ (brassica alba), කළු අබ (brassica nigra) පෙන්වා දීමට පුළුවන්. වාර්ෂික ශාක ගණයට වැටෙන අබ අතු ඉති විහිදා අඩි තුනක් හතරක් උසට වැවෙන ශාකයකි. කුඩා කිනිත්තක කහපාට කුඩා මල් හටගනී. සෙන්ටිමීටර් හතරක් පමණ ප්‍රමාණයේ කරල් දක්නට ලැබේ. ආර්ථික බෝගයක් ලෙසින් ඉන්දියාවේ චිරප්‍රසිද්ධය. උත්තර ප්‍රදේශ්, බෙංගාලයේ සහ බිහාර් යන ප්‍රාන්ත එහිදී ප්‍රමුඛත්වයක් ගනී. ලංකාවේ ද වියළි කලාපයේ හේන්වල සුළු පරිමාණයෙන් වගා කරනු දක්නට ලැබේ. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී අබ වලට ඉතා ඉහළ වැදගත්කමක් කරගෙන සිටි. සිද්ධාර්ථ සහ සර්ෂප යන නම්වලින් සංස්කෘතයෙන් ලියවී ඇති වෙද පොත් වල හදුන්වා දී තිබේ. එම ග්‍රන්ථ වල අබ වර්ග හතරක් සඳහන් කර ඇත. ඒවායේ ගුණ අගුණ ද වෙන් වෙන් වශයෙන් දක්වා තිබීම පහසුවකි. ඒවා නම් රාජිකා, ගෞර, සිද්ධාර්ථ, රක්ත සිද්ධාර්ථ සහ කෘෂ්ණ රාජිකා ලෙසිනි. දැන් ඒවායේ විශේෂතා පිළිබද විමසීමකට යොමු වෙමු.

රාජිකා සාමාන්‍ය අබ 

මේ අපි ප්‍රයෝජනයට ගන්නා අබ විශේෂයයි. එය රසයෙන් තිත්තය. ඌෂ්ණ ගුණ ඇත. කුසගිනි වඩයි. පිත වර්ධනය කරන අතර සෙම් ආශ්‍රිත රෝග සමනය කිරීම සිදුවේ. කුරුමිණි රෝග වලට ගුණ ලබාදෙන බව සඳහන්ය. ප්ලීහාවේ රෝග, වණ සහ සුව කිරීම සඳහා භාවිතා වේ. 

ගෞර සිද්ධාර්ථ එළ අබ

උෂ්ණ ගුණැතිය. සෙම සහ වාතය සමනය කර ගුණ ලබාදේ. කුරුමිණි රෝග සමනය කරයි. ආමාශයේ හා අන්ත්‍රවල දී ආහාර නිසි ලෙස ජීර්ණය නොවීම හේතුවෙන් හටගන්නා ආමවාත අවස්ථාවේදී, කනේ ආබාධ, ශීර්ෂාබාධ සහ කුෂ්ඨ රෝග සඳහාද ගුණ ලබාදේ. 

රක්ත සිද්ධාර්ථ රතු අබ

සැර අධිකයි. පිත සහ සෙම සමනය කරයි. කුසගිනි වඩන අතර කුරුමිණි රෝග සහ කුෂ්ඨ රෝග සඳහා ගුණ ලබාදේ. 

කෘෂ්ණ රාජිකා කළු අබ 

රක්ත සිද්ධාර්ථ සේම ඇර අධිකය. පිත, සෙම සමනය කරයි. රතු අබ ගුණයම ඇත. 


ආයුර්වේදයේ දී අබ බහුලවම භාවිතා වන්නේ තෙල් වශයෙන් ය. තෙල් සෑදීම සඳහා අබ අඹරා ලබාගන්නා පල්පය භාවිතාවේ. අමුද්‍රව්‍යයක් ලෙස යොදා තනන ප්‍රබලම ඔසුව මහා සිද්ධාර්ථ තෛලය යි. එල අබ ශුද්ධ වස්තුවක් ලෙස සැලකේ.

අඹරාගත් අබ මෙන්ම අබ තෙල් යොදා සකසන ආහාර වල රසය ගැන ඔබට අමුතුවෙන් කිවයුතු නොවේ. අබ තෙල්වල මේදය බහුල නැත. නිතර අබ තෙල් හෝ අබ භාවිතය සුදුසු නොවෙතත් මහත් සේ තරබාරු පුද්ගලයන් සඳහා සතියකට කිහිප දිනක් එබදු ආහාර ගැනීමෙන් තරබාරුබව යම් ප්‍රමාණයකට අඩුකර ගැනීමට හැකිවනු ඇත. අබ ස්වභාවයෙන්ම උෂ්ණ ගුණැති ය. එබැවින් අබ කුළුබඩුවක් ලෙසින් අවස්ථාවෝචිතව භාවිතා කිරීමට ගෘහනියෝ අත්දැකීමෙන්ම දනිති. ඒහෙත් ඖෂධයක් ලෙසින් භාවිතා කිරීමේදී වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ප්‍රඥාගෝචරය ක්‍රියාවකි. 

නමුත් පමණ ඉක්මවා පරිභෝජනය කිරීමෙන් නාසය, උගුර, උදරය ආදී අවයවයන් තුල ඇතිවන දැවිල්ල සමඟ මුත්‍රා දැවිල්ල ද හට ගැනීමේ ඉඩකඩ පවතී. එසේම වකුගඩු රෝගීන් මෙන්ම ගැස්ට්‍රයිටිස් රෝගයෙන් පෙළෙන රෝගීන් සඳහා ද අබ ආශ්‍රිත ඖෂධ ගුණදායක නැත. 

එසේම මතකයේ තබා ගත යුතු තවත් සුවිශේෂ උපදේශයක් දිය යුතුමය. බාහිර වශයෙන් ආලේප තැනීමේදී කළු අබ ද, ශරීර අභ්‍යන්තර රෝග සඳහා එළ අබ ද භාවිත කළ යුතු බව ආයුර්වේදයේ දක්වා තිබේ. මේ සියල්ල අතරේ තවත් සුවිශේෂ කර්තව්‍යක් සඳහා පැරැන්නන් යොදාගත් බවට සාධක තිබේ. එනම් ඇස් වහ, කට වහ දෝෂ දුරු කිරීම සඳහා අබ දුම නිවසට හා ඒ වටා ඇල්ලීම පුරාණ ගැමි සිරිතකි. ඒවායේ සත්‍ය තිබියදී එම දුම් ඇල්ලීම තුළින් විෂබීජ නැසීම සිදුවන බව නම් සත්‍යයකි. මේ බව නූතනයේ පරීක්ෂණ මගින් ද නිගමනය කර ඇත. 

අබ භාවිතයෙන් රුව වැඩීමේ සත්කාර ද කරගත හැකි බව ආයුර්වේදයේ දක්වා තිබේ. හන්දිපත් වේදනාවෙන් මිදී සිරුරේ කාර්යක්ෂමභාවය වැඩි කිරීමට ද, චර්මගත විෂබීජ මර්දනය, සමේ දීප්තිය වැඩි කිරීම, සම එල්ලා වැටීම ආදී තත්ත්වයන් යථා තත්ත්වයට ගැනීම සඳහා ද අබ ප්‍රයෝජනයට ගැනීමට පුළුවන. මෙම ප්‍රතිකාර ඉන්දියාවේ ඉතා දියුණු මට්ටමින් සිදු වේ.