ඔබේ දරුවාටත් නින්දෙන් මූත්‍රා පිටවනවාද. රාත්‍රීයට නින්දට පෙර මූත්‍රා කර නිදි කලත් මෙය වෙනවාද එසේනම් මෙය රෝගී තත්වයක්.
මෙය කුඩා දරුවන්ට ඇතිවන රෝගයක්. ආයුර්වේදයේ මෙය හදුන්වන්නේ ශයියා මූත්‍රය නමින්. මෙය රෝග අවස්ථාවක් වුවත් මූත්‍රාශයේ දෝෂ තත්වයක් හෝ විකෘති තත්වයක් නිසා ඇති නොවේ.
විශේෂයෙන් රාත්‍රී කාලයේ දරුවාට තද නින්දේ සිටියදී මෙය සිදුවේ. වයස අවුරුදු 4 ට හෝ 6ට පෙර දරුවන් අතර බහුලව දක්නට ලැබේ. එහෙත් වයස 6න් පසු දරුවන්ටද මෙම අවස්ථාවට මුහුණදීමට සිදුවේ. මෙම රෝගයට ගොදුරුවූ දරුවන් සිටින දෙමාපියන් තම පරම්පරාවේ දියවැඩියා රෝගය නොතිබේනම් බියවිය යුතු නොවේ.
ඇතැම් දරුවන්ට නිතර කේන්ති යාමේදී, අධික ලෙස හැඩීමේදී, සිනාසීමේදී මුත්‍රා දරාගත නොහැකිව ඉබේම පිටවීමක් පෙන්වයි. එය මෙම රෝගී අවස්ථාව හා සම්බන්ද නොවේ. එහිදී සිදුවන්නේ ස්නායු වල යම් දුර්වලතාවයක් නිසා මූත්‍රාශයේ මූත්‍රා පිටවීම පාලනය කල නොහැකි වීමයි.
ඇතැම් වකුගඩු රෝග නිසාද, තවත් රෝගයක උපද්‍රවයක් නිසාද, මානසික පීඩනය, කම්පනය වැඩිවීම නිසාද මෙම රෝගී තත්වය ඇතිවේ.
රෝගී අවස්ථාව ඇතිවීමට හේතු
- විශේෂයෙන් දරුවා නිදන ඇද තද උෂ්ණ ගතියකින් යුක්ත වීම.
- දරුවාට නිතර තරවටු කිරීම බය කිරීම.
- මානසික පීඩනයට ලක් කිරීම.
- මානසික තනිකම.
- පණු රෝග.
- මූත්‍ර වල අධික අම්ල ගතිය. වැඩිපුර වතුර පානය කිරීම හෝ පැණි රස ආහාර වැඩිපුරම ආහාරයට ගැනීම.
- පරම්පරාගතව දියවැඩියා රෝගය ඇති පවුල්.
- අපස්මාරය සෑදෙන පවුල්.
මෙවන් අවස්ථා තිබේ නම් එය කුඩා දරුවන්ගේ ශයියා මූත්‍ර රෝග අවස්ථාවට හේතු වේ.
එබැවින් මෙවන් දරුවන් සිටින මවකට කගකීම් බහුල වේ. දිනපතා දරුවාගේ ඇද ඇතිරිලි සේදීමට ලක් කිරීම, කොට්ට මෙට්ට අව්වේ දමා වියැලීම කල යුතුය.
දෙමාපියන් දරුවා පිළිබඳ හොද අවධානයෙන් සිටිය යුතුයි. දරුවාට දැනුම් තේරුම් වයස වන විට ඉබේම රෝගය අඩුවන අවස්ථා තිබේ.
මේ සදහා ප්‍රතිකාර
- පළමුව මවගේ මනා පාලනයයි. රාත්‍රීයට නින්දට ප්‍රථම දරුවා මුත්‍රා කිරීමට පුරුදු කළ යුතුය. එසේම සවස 5න් පසු අධික ලෙස පැණි රස දියර වර්ග පානයට නොදිය යුතුය.
- මුත්‍රා වල අම්ල ගතිය වැඩි නම්, මුත්‍රා කිරීමේදී දැවිල්ල ගතිය පවසයි නම්, මුත්‍රා කළ පසු අධික උෂ්ණ ගතියක් ඒ නම් ඒ සදහා සුදුසු ප්‍රතිකාර කළ යුතුයි.
- සුදුසු වෛද්‍යවරයෙකු ලගට ගොස් මුත්‍රා පිරිසිදු කර දැවිල්ල අඩුවීමට ප්‍රතිකාර ගත යුතුයි.
- තවද රාත්‍රියේ නින්දෙන් දරුවාව අවදි කරවා නැවත වරක් මුත්‍රා කිරීමට පුරුදු කිරීම.
- දරුවාට සැර වීම, තරවටු කිරීම , බය කිරීම ආදියෙන් වැළකීම.
- රාත්‍රීයට නින්දට පෙර මීපැණි තේ හැන්දක් පානයට දීම ද ඉතා සුදුසු වේ.
- පණු රෝග පවතී නම් එ සදහා සුදුසු ඖෂධ ගත යුතුයි. මෘදු විරේක දීම වඩාත් සුදුසුයි.
මෙවන් ප්‍රතිකාර වලෛන් මෙම රෝගය පාලනය කිරීමට දෙමාපියන්ට හැකියාව තිබේ.
තවද දරුවාට නිතර ආදරය කරුණාව දක්වන්නේ නම්, නිතරම දරුවා සමග සම්බන්ධ වී කටයුතු කරන්නේ නම්, ඒ තුළින් දරුවාගේ මානසික තනිකම නැතිවී යයි. එවිට රෝගයද පාලනය වේ. ඒ සදහා ඖෂධීය ප්‍රතිකාර කිසිදු විටක අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ මව හෝ පියා විසින් දෙනු ලබන ආදරය සහ සෙනෙහසයි. එවිට දීර්ඝ ප්‍රතිකාර අවශ්‍ය නොවේ.
උපුටා ගැනීමකි.

No comments:
Post a Comment