![]() |
ඉක්කාව කියන දේ වරක් හෝ අත්විද නැති අයෙක් ලෝකයේ නැති තරම්.
ඉක්කයි මායි ගාලු ගියා ඉක්කා දාලා මන් ආවා කියන පද පේලි කිහිපය ඉක්කාව හැදුණු ගමන් බාල මහලු භේදයක් නැතුව කාටත් ටක් ගලා මතක් වෙන කියමනක් .
ඉක්කාව ඇති වෙන්නේ මෙහෙමයි ........
HICKUP යන නමින් ඉංගිසි භාෂාවේ හදුන්වන ඉක්කාව ඇති වෙන්නට සම්පුර්ණයෙන් වගකිව යුත්තා වෙන්නේ මනුෂ්‍ය ශරීරයේ උරස් කුහරයත් උදර කුහරයත් වෙන් කරන මාංශ පේශීය වන මහා ප්රාචීරයයි ( diaphragm ). අපි හුස්ම ගන්න සෑම වේලාවකම පාහේ මහා ප්‍රාචීර මාංශ පේශිය , වාත්රාස්රය ලබාගැනීම සඳහා පහළට ගමන් කර පෙනහළුවලට උරස් කුහරය තුළ වැඩි ඉඩක් ලබා දෙනවා. ප්‍රශ්වාසයේදී ඉහළට ගමන් කරයි. මෙම ක්‍රියාවන් දෙක නිසියාකාරව පාලනය කරන්නේ phrenic nerve & Vagus nerve කියන ස්නායු...
නමුත් සමහර හේතුන් මත මෙම මහා ප්‍රාචීරය අනවශ්‍ය ලෙස උත්තේජනය ලක් වීම නිසා එය පිස්සු නටන්නට ගැනීම නිසා විනාඩියකට කීප වතාවක් මහා ප්‍රාචීරය අක්‍රමවත්ව සංකෝචනය වීම සිදුවෙනවා . මෙය තමයි ඉක්කාව ඇති වීමට මුලිකත්වය ගන්නේ. එතකොට මහා ප්රාචීරයේ සංකෝචනය හේතුවෙන් පෙනහළු තුළට වාතය සීඝ්රයෙන් ඇතුළු වෙන්න පටන ගන්නවා . ශීඝ්‍රයෙන් වාතය ශ්වසන මාර්ගයට ඇතුළුවීම වැළැක්වීම සඳහා අපගේ ස්වරාලය අවට ඇති Vocal Cords හෙවත් ස්වර තන්ත්ර නමින් හැදින්වෙන ව්‍යුහයන් වැසී වාතය වැඩිපුර ඇතුළුවීම වළක්වනවා. මේ නිසා හික් යන ශබ්ධය මුවෙන් පිට වෙන්න ගන්නවා.
ඉක්කාව හැදෙන්න හේතු මොනවද ???
සාමාන්‍යයෙන් ඔය පොඩි වෙලාවකට හැදෙන ඉක්කාවට හේතුව හරියටම මේකයි කියලා කියන්න බැරිතරම්.
ඉක්කාව පවතින කාලසීමාව අනුව ඉක්කාව ඇතිවෙන්න හේතු කාණ්ඩ දෙකකට වර්ග කරන්න පුළුවන් .
පැය 48 කට වඩා අඩුකාලයක් පවතින ඉක්කාවට හේතු මෙන්න මේ දේවල් වෙන්න පුළුවන් .
*ගොඩක් වේගෙන් කනකොට, දරන්න බැරි තරමට කෑවහම, ගොඩක් රස්නෙන් කෑවහම, බඩේ ගෑස් ආවම ඉක්කාව ඇතිවෙන්න පුළුවන් .
* සෝඩා, ස්ප්‍රයිට් වැනි කාබන් ඩයොක්සයිඩ් අඩංගු බීමවර්ගත් ( Carbonated beverages ) ඉක්කාවට බොහෝ විට හේතුවක්.
* අවට පරිසරේ උෂ්ණත්වය එක පාර වෙනස් වීම නිසාත් ඉක්කාව ඇතිවෙනවා.
* අධික ලෙස මත්පැන් පානයත් මෙයට හේතුවෙනවා.
* එක්වරම කලබල වීම හා මානසික පීඩනයත් ඉක්කාවට හේතුන් ලෙස හදුනාගෙන තිබෙනවා.
* දිගුවේලාවක් බබල්ගම් හැපීම සහ සීනි බෝල ටොපි ලොලිපොප් ආදියත් ( Candy ) හේතුවක්.
*ඉතා වේගයෙන් හුස්ම ගැනීමත් ඉක්කාවට හේතුවක්.
පැය ගණනාවක් තිස්සේ තියෙන ඉක්කාවක්, දවස් ගණන් තියෙන ඉක්කාවක් කියන්නේ පොඩ්ඩක් හොයලා බලන්න ඕන තත්වයක්.
මෙලෙස ඉක්කාව ඇතිවීමට හේතුවන කාරණා කාණ්ඩ තුනකට වර්ග කරන්න පුළුවන් .
** මහා ප්රාචීරයේ සුපර්වයිසර් වන ස්නායුවේ ආසදන තත්වයක් හෝ වෙනයම් කාරණයක් ( infection or irritation )
- හිසකෙස් , කොට්න්බට්න් එකක් වැනි යමක් කන් බෙරයේ ස්පර්ශ වීම .
- උගුරේ ගෙඩියක් වැනි තත්වයක් ඇතිවීම , ගලගණ්ඩය , යම්කිසිවක් උගුරේ සිරවීම.
- උගුරටඒම ( reflux ) ,
- උගුරේ ආසදන තත්වයක්.
- පෙනහළු ආශ්රිත රෝගී තත්වයන්
**මධ්‍යම ස්නායු පද්ධතියේ රෝගී තත්වයන්.
** ඖෂධ හා වෙනත් හේතූන්..
මෙයට ඕනවට වඩා බීපු එකේ ඉඳන් වකුගඩු ගැටළුවක් දක්වා හේතු කියන්න පුළුවන් .
ඉක්කා වැටීම නතර කර ගන්න පුළුවන් සරල ක්‍රම කිහිපයක්
1) හුස්ම අල්ලන් ඉන්න
හොදින් හුස්මක් අරගෙන එක පුළුවන් තරම් වෙලා අල්ලන් ඉන්න පිට කරන්නේ නැතුව. මේක ගොඩක් සාර්ථක ඉක්කාවට ක්ෂණික සහනයක් ලැබෙන ප්‍රතිකාරයක්. ( මෙහිදී සිදුවන්නේ, හුස්ම අල්ලන් සිටිනවිට රුධිරයේ එක් රැස් වන කාබන් ඩයොක්සයිඩ් diaphragm එකේ සංකෝචනයවීම නිශේධනය කිරීම මගින් ඉක්කාව නැවතීමයි )
හෝ කටින් හොඳ හුස්මක් අරගෙන, හුස්ම අල්ලගෙන ඉන්න අතරේ දෙපාරක් හෝ තුන්පාරක් කෙළ ගිලලා ඉන් පස්සේ හෙමිහිට නහයෙන් හුස්ම පිට කරන්න. මෙයනම් අත්දුටුවයි සත්තයි!
2) සිනි හැන්ද හා මී පැණි බෙහෙත
කැට තියෙන සීනි තේ හැන්දක් කෑවත් ඉක්කාව සුවවෙනවලු . මෙහිදී වෙන්නේ දිවේ පැණිරස වලට සංවේදී බව දක්වන කොටස උත්තෙජණය කරලා ඉක්කාවට ශරීරය දක්වන සහයෝගය නැති කරලා දාන එක. දිවේ රස ස්නායු අධික ලෙස උත්තේජනය කිරීම මගින් ඉක්කාවට ශරිරය මගින් දක්වන අවධානය නැති කිරීම තමයි මේ ප්‍රතිකාරයේදී වෙන්නේ. සිනි බෝතලේ තෙත හැන්දක් දාලා හැන්දට සිනි අලවා ගන්න. දැන් හැන්ද දිව අගට වෙන්න තියා ගන්න. ඉක්කාව සනීප වේවි.
මී පැණි බෙහෙත
මී පැණි කියන්නේ මනුෂ්‍ය ශරිරයට හුගාක් ගුණදායක ඖශධයක්. මී පැණි තේ හැන්දක් වතුර ස්වල්ප ප්‍රමානයකට කලවම් කරලා දිව අගට වෙන්න කටේ තිය ගෙන ඉන්න. පොඩි වෙලාවක් එහෙම තියන් ඉදලා එකපාරටම ගිලලා දාන්න.
03) කම්පන චිකිත්සාව
ඉක්කාව හැදිච්ච පුද්ගලයාව එක් වරම බලාපොරොත්තු නොවූ ලෙස කමපනයට ලක් වෙන දෙයක් කරන එක තමයි මේකේ තේරුම. මෙතනදී මේ වැඩේ කරන්න ඕනේ ඔහුට නොතේරෙන ලෙස. කියන්න ඔහුට හොද බොරුවක්. නැත්තම් එක පාරටම බය කරන්න. ලොකු කම්පනයක් තුලින් මොලයට අමතක වෙනවා ඉක්කාව කියන අවස්ථාව ගැන. එක නිසා එක නිරායාසයෙන්ම ඒ පුදගලයාට අමතක වෙලා යනවා. අමතක උනා කියන්නේ සනීප උනා කියන එක තමයි.
04) වතුර බොමු
මේ වැඩේ නම් ඉතින් අනිවාර්යයෙන් අපි ඉක්කාවක් හැදුනම කරනවනේ. සමහරු එක හුස්මට වතුර විදුරුවක් බොනවා. ඒ වගේම සමහරක් පැති වල ලොකු වතුර උගුරක් අරන් එක හතකට කඩලා බොනවා. ඔබ මේ වෙනකොටත් වතුර සැහෙන්න බීලා ඉක්කාව සනීප උනේ නැති කෙනෙක් නම් සීතල වතුර ටිකක් බීලා උගුරට අරන් හොදින් කකාරලා බලන්න. ඉක්කාවට සහනයක් ලැබේවි.
05 )දිව පුලුවන් තරං එලියට ඇදගෙන හිටියත් ඉක්කාව හරියනවලු . ( මේකෙදි වෙන්නෙත් vagus nerve කියන ස්නායුව උත්තේජනය වීමෙන් මහාප්රාචිරයේ සංකෝචනයවීම වැළැක්වීමයි )
06) තදින් කිති කැවීම
මේ වැඩෙත් හරිම විනොද වැඩක්. ඔයාත් එක්ක ඉන්න යාළුවාට දැන් ඉක්කාව හැදිලා සනීප කර ගන්නම බැරුව ඉන්නවා කියලා හිතන්නකෝ. තව යාලුවෝ කීප දෙනෙක් එකතු කරන් ඒ ඉක්කාව හැදුන කෙනාට කිති කවන්න. බිම දාගෙන කිති කවන්න. දවස් දෙක තුනක් යනකම් ඒ කෙනාට ඉක්කාවක් තිබුනද කියලවත් මතක් වෙන එකක් නෑ. හැබැයි ඉතින් පරිස්සමෙන් .
07) කඩදාසි බෑග් එකක් ඇතුළට ඔළුව දාගෙන හුස්ම ගන්න. ( මේකෙදි සිද්ද වෙන්නෙත් එක් රැස්වෙන කාබන් ඩයොක්සයිඩ් diaphragm එකේ සංකෝචනයවීම නිශේධනය කිරීමයි )
ජනප්‍රියම වැඩේ වුන ඉක්කයි මායි ගාලු ගියා ඉක්ක දාලා මං ආවා කියලා දිගට දිගට කියන එකත් අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි ඉක්කා බෙහෙතක්.හැබැයි මොන බෙහෙතක්වත් නැතුව ඉක්කාව අමතක වුනහම නිකම්ම නැතුව යනවා කියන එකත් ගොඩක් දෙනා අත්දැකලා තියෙන්න ඕන කාරණාවක්.
මේ ඉක්කාව ලොකු අවුලක් නොවෙන්නත් පුලුවන්, හැබැයි සරල දෙයක් නොවෙන්නත් පුලුවන් , මෙන්න මේ සරල ක්‍රම මගින් ඉක්කාව සුවනොවී , දිගුවේලාවක් තියෙනවා නම් වෛද්‍යවරයකු හමුවෙන එක තමයි සුදුසුම .

සුවඋනා පම්ක
ReplyDelete������ thank you
ReplyDeleteYour welcome
DeleteThnkyou !!!
ReplyDelete