Friday, January 16, 2026

දිනපතා ලුණු සහිත ජලය පානය කිරීමෙන් සිරුරට සිදුවන්නේ කුමක්ද?

 



අද කාලයේ සෞඛ්‍යය සම්බන්ධයෙන් ස්වභාවික ක්‍රම පිළිබඳ වැඩි අවධානයක් දක්වන අය අතර, දිනපතා උදෑසන හිස් බඩ ලුණු සහිත ජලය පානය කිරීම පිළිබඳ කතා බොහෝ දුරට පැතිරී ඇත. සමහරුන්ට මෙය සෞඛ්‍යයට වාසිදායක ලෙස පෙනුනද, විද්‍යාත්මකව හා සෞඛ්‍යමය වශයෙන් බලන විට එහි වාසිත්, අවදානම්ත් දෙකම ඇත.


ලුණු සහිත ජලය යනු කුමක්ද?

ලුණු සහිත ජලය යනු සාමාන්‍ය ජලයට ලුණු (මුහුදු ලුණු හෝ ටේබල් ලුණු) එකතු කර සකස් කරන ජලයයි. සමහරුන් මෙය detox water හෝ sole water ලෙසද හැඳින්වෙයි.

දිනපතා පානය කිරීමෙන් ඇතිවිය හැකි වාසි

1. ජීර්ණ ක්‍රියාවලිය උත්තේජනය වීම

සුළු ප්‍රමාණයක ලුණු ජීර්ණ එන්සයිම නිපදවීමට උත්තේජනය කරමින් ආහාර ජීර්ණය පහසු කිරීමට උපකාරී විය හැක.

2. ඉලෙක්ට්‍රොලයිට් සමතුලිතතාවයට උපකාර

ශරීරයට අවශ්‍ය සෝඩියම් සුළු ප්‍රමාණයකින් ලබාදීම මඟින් පේශි හා නරම පද්ධතිය නිසි ලෙස ක්‍රියා කිරීමට සහාය විය හැක.

3. උදෑසන ශරීරය අවදි කිරීම

උදෑසන ලුණු සහිත උණුසුම් ජලය පානය කිරීමෙන් සමහරුන්ට ශරීරය සැහැල්ලුවෙන් අවදි වූ බවක් දැනේ.

දිනපතා පානය කිරීමෙන් ඇතිවිය හැකි අහිතකර බලපෑම්

1. ශරීරය ජලහීන වීම

ලුණු සහිත ජලය ශරීර සෛලවලින් ජලය පිටතට ඇදගැනීම නිසා, දිගු කාලීනව පානය කළහොත් ජලහීනතාවය ඇතිවිය හැක.

2. රුධිර පීඩනය ඉහළ යාම

අධික සෝඩියම් ශරීරයට ඇතුළත් වීම High Blood Pressure, හෘද රෝග හා මස්තිෂ්ක ආබාධ අවදානම වැඩි කරයි.

3. වකුගඩු වලට බර පැමිණීම

අධික ලුණු ප්‍රමාණය ඉවත් කිරීමට වකුගඩු වැඩි ලෙස ක්‍රියා කළ යුතු බැවින්, කාලයත් සමඟ වකුගඩු සෞඛ්‍යයට හානි සිදුවිය හැක.

4. ආමාශයට ඇතිවන අපහසුතා

හිස් බඩ ලුණු සහිත ජලය පානය කිරීමෙන්

උණුසුම

වමනය

අම්ලතාව (Acid Reflux)

වැනි ගැටලු ඇතිවිය හැක.

5. ශරීරය තුළ ජලය රඳා සිටීම

මුහුණ, අත්, පාද ඉදිමීම (Water Retention) දිනපතා ලුණු පානය කිරීමේ සාමාන්‍ය ලකුණකි.

කවුරුන් මෙය වලක්වාගත යුතුද?

  • උච්ච රුධිර පීඩනය ඇති අය
  • වකුගඩු රෝගීන්
  • හෘද රෝග ඇති අය
  • ගර්භණී මව්වරු

ආරක්ෂිත විකල්ප

  • උදෑසන සාමාන්‍ය උණුසුම් ජලය පානය කිරීම
  • ලෙමන් බින්දුවක් එක් කළ ජලය
  • ස්වභාවික ආහාර මඟින් අවශ්‍ය ලුණු ලබාගැනීම

නිගමනය

දිනපතා ලුණු සහිත ජලය පානය කිරීම සෞඛ්‍යයට විශේෂ detox වාසියක් ලබාදෙන බවට විද්‍යාත්මක සාක්ෂි නොමැත. එයට වඩා අධික ලෙස පානය කළහොත්, ශරීරයට අහිතකර බලපෑම් වැඩි විය හැක. එබැවින් සෞඛ්‍යය රැකගැනීමට වඩාත්ම ආරක්ෂිත ක්‍රමය වන්නේ නිසි පරිමිතියෙන් ලුණු භාවිතා කර, ප්‍රමාණවත් ජලය පානය කිරීමයි.

Thursday, December 14, 2023

නිල් කටරොළු මල් ( Butterfly pea flower) වල ඖෂධීය ගුණ

 

 

පැරණි වෙදදුරන් කියන විදිහට කටරොළු කියන්නෙ ලෙඩ ගොඩකට දෙවි කෙනෙක්. කටරොළු වර්ග 2ක් සදහන්ව ඇත .නමිත් එම කුලයෙ තවත් කට රොළු වර්ග තිබිය හැක.


1. නිල් කටරොළු 

2. සුදු කටරොළු 


අද මං කියලා දෙන්න යන්නෙ නිල් කටරොළු ශාකය ගැන. නිල් කටරොළු මලෙන් හදන තේ එක ගැන.. ඒකට කලින් මේ මල ගැන චූටි විස්තරයක් අහලා ඉන්නකෝ..


ඉන්දියාව, බුරුමය,තායිලන්තය වගේ රටවල් ගොඩක් ප්‍රසිද්ධ ශාකයක් තමා කටරොළු කියන්නේ..බුරුමයේ කටරොළු මල් බැදලා පපඩම් වගේ ආහාරයට ගන්නවා.


ඒ වගේම පිටරට බොහොම ප්‍රසිද්ධයි මේ කටරොළු මල් තේ එක.. පාවිච්චිය පහසු කරන්න වේලලා කුඩු කරපු කටරොළු මල් කුඩු කරලා පැකට් වශයෙන් වෙලදපොලේ තියෙනවා.. Google කරලා බලන්නකෝ.. දකින්න පුලුවන්.. ඒ විතරක් නෙමෙයි මේ මලේ වර්ණය කෑම වලට එකතු කරලා කෑම ලස්සන කරන්නත් පාවිච්චි කරනවා..


මේ ගහේ මුල්,මල්, කොල,පොතු,ඇට මේ ඔක්කොම ලෙඩරෝග වලට පාවිච්චි කරනවා.


🍄ශරීරයේ කුශ්ට නැති කරලා තුවාල සුව කරන්න.. 

🍄කැස්ස,ඇදුම,හෙම්බිරිස්සාව,ඔලුවේ කැක්කුම් ඇතුලු සෙම් රෝග සුව කරන්න.

🍄මානසික ආතතිය නැති කරන්න.

🍄ස්ත්‍රී පුරුෂ වදභාවය නැති කරන්න. 

🍄අර්ශස් සුව කරන්න.

🍄ආහාර මාර්ග පද්ධතියේ යහපතට.

🍄මුඛ ආශ්‍රිත රෝග නැති කරන්න. 


ඇතුලු තවත් රෝග රැසකට මේ කටරොළු ශාකයේ මුල්, මල්, කොල, පොතු, ඇට කසාය, තලප විදිහට යොදාගන්නවා.. 


මේ මං ඔයාලට කිව්වේ බොහොම පොඩ්ඩක්. අපි ඉතිං අද කතා කරන්න යන්නේ කටරොළු මල් තේ ගැන නිසා ඒ ගැන කියන්නම්..අපි බලමුකෝ මේ තේ එකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද කියලා.. 


🌺මොලයේ ක්‍රියාකාරිත්වය යහපත් ලෙස ඉහල නැංවිම.

🌺 පිලිකා මර්දනය කිරීම හා සටන් කිරීම.

🌺සිරුරේ ඌශ්නත්වය පාලනය කිරීම.

🌺අධි රුධිර පීඩනය පහල දැමීම.

🌺සම ඉතා හොදින් පැහැපත් වීම හා තරුණ පෙනුමක් ඇති කිරීම. 

🌺නිරෝගීමත් කෙස් කලඹක් සදහා 

🌺 සෙම් රෝග සදහා 

🌺ආමාශගත රෝග/කුසගිනි ඇති කිරීම.1 හා ආහාර ජීරණය සදහා

🌺මානසික ආතතිය (විශාදිය වැනි රෝග සදහා)

🌺දියවැඩියාව සදහා 

🌺මිග්‍රේන් වැනි ඔලුවේ කැක්කුම් සදහා 


       නිල්කටරොළු තේ හදා ගන්නා අයුරු පහතින් සදහන් කරන්නම් .👇👇👇👇

 විශේෂයෙන්ම නිල්කටරොළු මුල් වල තමයි වැඩිම ගුණයක් තිබෙන්නෙ (රෝග විශාල ප්‍රමානයක් සදහා


ඒ වගෙම තමයි ඇතැම් රටවලට නිල්කරොළු ලපටි කරල් අාහාරය ගන්නවා ඉන්දුනීසියාව ඉංදියාව වගෙ රටවල නිල්කටරොළු මල් පපඩම් වගෙ බැඳලා ආහාරයට ගන්නවා කියලත් සදහන් වෙනවා ( අන්තර්ජාලය තුල)බලන්න.එය මා ඉහතත් සදහන් කලා.


දැන් මම කියන්න යන්නෙ ගෙදරදි ශරිරයට ගුණදෙන පුංචි අාහාර කිහිපයක් පිලියෙල කර ගන්නෙ කොහොම කියලා නිල්කටරොළු යොදාගෙන 

මේ සදහා යෝදා ගන්නෙ නිල් කටරොළු මල් තමයි


         🙏🌺 නිල්කට රොළු තේ 🌺🙏




ඔබට පුළුවන් තේ වෙනුවට නිල්කටරොළු පානයක් විදිහට පාවිච්චි කරන්න උනුවතුර විදුරුවකට පිරිසිදු නිල්කටරොළු මල් 4/5ක් යොදා ගැනිම මගින්  ලස්සන රසවත් වගෙම ගුණවත් තේ පානයක් හදාගන්න පුළුවන් දෙහි ඇඹුල් සහ සිනි ලුණු  අවශ්‍ය  පරිදි යොදා ගන්න 



         🙏🌺 නිල්කට රොළු බිම 🌺🙏



ඒ වගේම බීම එකක් ලෙසත් පාවිච්චි කරන්න පුළුවන් .ඕණිම පලතුරු වර්ගයක් නිල්කට රොළු මල් වතුර යොදා ගෙන  සකසන්න. අවශ්‍ය නිල් පාට ගැණිමට උවමනා මල් වර්ග ප්‍රමානය යොදා ගන්න.

 තවද  නිල්කටරොළු මල්වතුරට දෙහි හෝ දොඩම් යොදා ලුණු සිනි අවශ්‍ය ප්‍රමානයට යොදා ශීතකරණයේ තබා පානය කරන්න.

දෙහි බිංදු කිහිපයක් යෙදුවහොත් ඔබට නිල්කටරොළු පානය දම්පාට කරගැනිමටත් හැකියාවක් තිබේනවා.


🌺නිල්කට රොළු කියන්නේ පිළිකා නාශක ඖෂධයකි .  එයා අහාරයට ගත්පසු ශරීර ගත විෂ නසයි. අර්ශස් හා මළ බද්දය නසයි. සෙම් රෝග නසයි. කුසගින්න වඩයි. මුත්‍රා රෝග නසයි. මෙකි නොකී බෝහෝ ගුණ වලින් යුතුය..ඉහත සුව ලබන රෝග සමහරක් සදහන් කොට ඇත.


🌺නිල් කටරොළු  බත සාදාගන්නා ආකාරය 🌺



ගෙවත්තෙන් නෙලාගෙන මදක් මද අවුවේ හොදින් වියලා ගත් නිල් කටරොළු මල් පෙති ස්වල්පයක් තද උනුවතුරට දමා විනාඩි පහළොවක් පමණ තබන්න. එවිට එම ජලය තද නිල් පැහැයට හැරේ. 

අනතුරුව සහල් මැටි මුට්ටියකට දමා සාමාන්‍ය යෙන් තබන ලද ජල ප්‍රමාණයට වඩා මදක් අඩුවෙන් ජලය තබා දර ලිපේ තබන්න. (පසුව නිල් ජලයද එක් කරන බැවින් නැතහොත් බත බෙරි වීමට ඉඩ ඇත)    පසුව පෙණ දමා බත සම්පූර්ණ වීමට ආසන්න වන ව්ට නිල් කටරොළු යුෂ එයට එකතු කර විනාඩි පහක් පමණ තබන්න. සහල් හුන්ඩු තුනක් සදහා මල් දහයක් පමණ සැහේ....


සෙම් රෝග නිසැකයෙන්ම සුව කරන විශ්මිත කටරොළු ඔසුව... ඒ වගේම කටරොළු ඖෂධය තරුණ බව රකින ඖෂධයක් බවටත් ප්‍රචලිතයි. රෝග සඳහා කටරොළු ශාකයේ මුල්, මල්, කොළ, පොතු, ඇට යන පංචාංගයම ගන්නවා. කැස්ස, ඇඳුම, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග වලදී කටරොළු මුල් ඉතාම ගුණදායකයි.


කටරොළු මුල් වියළා කුඩුකර ( පවුඩර් ලෙස ) දිනකට එයින් ග්‍රෑම් 01 - 03 ත් අතර ප්‍රමාණයක් උණුවතුර එකකට මිශ්‍රකර බොන්න. වේල් කිහිපයකින් සුව වේවි. 


ඒ වගේම කටරොළු මුල් වියලා හොදින්  දුම ඇල්ලුවොත් සෙම රෝග . මහන්සිය සුව වෙනවා. කටරොළු ශාකයේ පංචාංගයම තම්බාගත් කෂාය පානය කළොත් ශරීරයේ ඇති සෙම ඉවත් කරන්නත් පුළුවන්. මේ වනවිට පර්‍යේෂණ මට්ටමින් පවා තහවුරු වෙලා තිබෙනවා කටරොළු කියන්නේ මානසික ආතතිය නැති කිරීමේ ගුණය ඇති ඖෂධයක් කියලා. ඒ සඳහා වඩාත්ම සුදුසු කටරොළු මුල්. මුල් කසායක් ලෙස සාදා ඔබ මේ ඖෂධය පානය කළොත් එය අගනා ඖෂධයක් වේවි. 



ශරීරයේ වේදනාව, ඉදිමුම, රුධිර ගැලීම් වැනි තත්ව නැති කරන්නත් මෙය අද්විතීය ඖෂධයක්. රුධිරය ගලන අර්ශස් අවස්ථාවක දී එය සුව කරන්න කෂායක් ලෙසත් කටරොළු භාවිත කරනවා. 


ඒ වගේම සම්පුර්ණ කටරොළු ශාකයම ගලේ අඹරා තලපයක් සේ සාදා අර්ශස් ගෙඩිවල ආලේප කිරීමෙන් කෙටි කලකින් සුවය ලබන්නත් පුළුවන්. කටරොළු ශාකය ශිරෝ විරේචන ද්‍රව්‍යයක් ලෙසත් හඳුන්වනවා. 


තද හිසේ කැක්කුමක දී කටරොළු කොළ කිහිපයක් තලා බිංදු දෙකක් ගෙන එය නාසයෙන් ඉහළට ඇදීමෙන් ක්ෂණික සුවයක් ලබන්න පුළුවන්.


 ඒ වගේම ගලගණ්ඩය රෝගය සුව කරන්න සුදු කටරොළු මල් ස්වල්පයකට වතුර පත 04 ක් දමා එය එකට සිඳුවා පෙරා බොන්න. ගලගණ්ඩ රෝගයට මෙම සුදු කටරොළු මල් කෂාය දෛනිකව පානය කිරීම ඉතාම ගුණයි.



ගර්භාෂ රෝග වල දී, ආර්තව වේදනා වල දී නිල් කටරොළු මල් කෂාය පානය කරන්න. එය ඉතා ගුණදායකයි. 


කටරොළු ශාකයේ මුල් අරගෙන පිරිසිදු කර හොඳින් ගලේ අඹරා ඒ ද්‍රාවණය සුදු කබර මත ආලේප කළහොත් සුදු කබර රෝගයෙන් මිදෙන්නත් පුළුවන්. 


ආහාර මාර්ග පද්ධතියටත් කටරොළු ඉතාම ගුණදායකයි. ආමාශගත තුවාල පවා සුව කරන්න මෙමඟින් පුළුවන්. ඔබ කළ යුත්තේ නිල් කටරොළු වියළි මුල්, පොතු හොඳින් අඹරා තලපයක් ලෙස සාදා මී පැණි සහ ගිතෙල් සමඟ ආහාරයට ගැනීම පමණයි. ආමාශගත රෝග වලට මෙය අගනා ඖෂධයක්. 



🌺නිල්කට රොළු ඉදි ආප්ප හො නූඩ්ලස්🌺


 ගෙදරදි  ඔබ හදන විවිධ කැම අතර ඉදි ආප්ප හො නූඩ්ල්ස්  හදන විට ඉදිආප්පයි හදන වෙලාවට ඉදිආප්ප පිටි ඇනිම සදහා උණුවතුර යොදා ගන්න වෙලාවට නිල්කටරොළු මල් මගින් එ වතුර එක නිල් පැහැය කරගන්න ඔබට නිල් පැහැති ඉදිආප්ප සාදාගැනිම එහිදි හරකියාව ලැබෙනවා . නුල්ඩස් වලටටද ඒ අයුරින් යොදා ගන්න .එ වගෙම එහි ගුණයත් ඉහලයි තව පුංචි දරුවන් වෙනදට වඩා අනිවාර්යයෙන්ම ආහාර අනුභව කරයි ලස්සන නිසා 


එ වගෙම තමයි ඔබට පුළුවන් නිල්කටරොළු වියලා කුඩු කරගන්න (පවුඩර් එකක් විදිහට හදා ගන්න) එයින් ඔබට  නොයෙක් කැම රසවත් සහ වර්ණවත් කර ගැනිමට යොද ගන්න පුලුවන් .


එම පව්ඩර්  එක් එක් ආහාර සදහා යොදැ ගැනිමට හැකියාව ලැබෙනවා එ පවුඩර් රස වගෙම වර්ණයත් ගුණයත් ලැබෙනවා මොකද කෘතිම වර්ණක නොවෙන නිසා.


විවිධ රටවල ඉතා ඉහල මිල ගනන් වලට නිල්කටරොළු පවුඩර් විකිනිමට තිබෙනවා


ඉතින් ඔබේ ගෙවත්තෙ තිබෙන යම් යම් ගස් වැල් ගැන එවගෙ තියෙන ඖෂධීය ගුණ ගැන ඔබ නොදන්නවා වෙන්නට පුළුවන් එ ගැන පුංචිහෝ දැනුමක් දෙන්නට තමයි මෙවැනි ලිපියක් මගින් මම උත්සහ කරන්නෙ (යම් යම් වැරදි අඩුපාඩු ⁣තිබෙන්නට පුළුවන්)


නිල්කට රොළු වල ගුණ නම් අසිමිතය .සෙම් රෝග නිසැකයෙන්ම සුව කරන විශ්මිත ඔසුවකි. ආයුර්වේදයේ මූලික ග්‍රන්ථ වන චරක සංහිතාව, සුශ්‍රැතය සංහිතාව, අෂ්ඨාංගහෘද සංහිතාව වැනි ග්‍රන්ථ වලත් බුද්ධදාස රජු විසින් රචිත සාරාර්ථ සංග්‍රහයෙත් මේ කටරොළු ඖෂධය ගැන සඳහන් වෙනවා. 


ඇත්තටම කටරොළු කියන්නේ පූජා කරන්න ගන්න මල් වර්ගයක් විතරක්ම නෙවෙයි. හොඳ ඖෂධයක්.


ඔබ ආහාර ලෙස පෝෂදායි ආහාර ගැනිම තුලින් ඔබට සතුටින් සිටිය හැක නැතිනම් මතු දිනයකදි ඔබට ඖෂධ ආහාර ලෙස ගැනිමට අනිවාර්යයෙන්ම සිදුවනවා නොවනු මානය.


ඔබ  මෙතෙක් නොදැන් සිටි මේ ඖෂධය  අද සිට බාවිතයට ගන්න .එයින් නොසිතනා ප්‍රතිඵලයන් ලැබෙනු ඇත.  හැමෝටම මෙය බෙදා හරින්න .


එමෙන්ම යාළුවන්ටත් දැන් ගැනිම සදහා මෙය share karanna 


උපුටා ගැනීමකි....

Sunday, October 4, 2020

ඖෂධයක් ලෙසින් බණ්ඩක්කාවල ගුණ

 

බණ්ඩක්කා කියන්නේ අපේ සමාජයේ ඉතාම ජනප්‍රිය එළවළුවක් . නමුත් කීයෙන් කී දෙනා ද දන්නෙ බණ්ඩක්කා ඉතාම හොඳ බෙහෙතක් බව. බණ්ඩක්කා ලංකාවේ විතරක් නෙවෙයි ඉන්දියාවේත් ජනප්‍රිය එළවළුවක්. අද අපි කතා කරන්නට යන්නේ සූපවේදය සමඟ බැඳුණු බණ්ඩක්කා ගැන නෙමෙයි ඖෂධයක් ලෙසින් බණ්ඩක්කාවල ගුණය පිළිබඳවයි.

බණ්ඩක්කා පාට දෙකකින් තිබුනත් ලංකාවේ ව්‍යාප්ත වෙලා තියෙන්නෙ කොළ පැහැති ප්‍රභේදය. බණ්ඩක්කා කියන්නේ ශරීරයට සිසිල් ගුණය යහමින් ලබා දෙන ආහාරයක්. මුත්‍ර දැවිල්ල, මුත්‍ර පිට කිරීමේ අපහසුතා, ශරීරයේ ඇති උෂ්ණාධික බව ට ඖෂධයක් වශයෙන් බණ්ඩක්කා ඉතාම ගුණදායකයි. තදබල විදිහට පීනස සෙම සහිත කැස්ස තියෙන රෝගීන්ට ඖෂධ විදියට තනිකරම බණ්ඩක්කා භාවිතයට ගන්නට බැහැ. ඒක ගුණයි නමුත් ව්‍යාංජනයක් විදිහට මිශ්‍ර කරන්න බැරි කමක් නෑ. ගැස්ට්‍රයිටිස් ආවම ඇතිවන අපහසුතාව බොහොමයක් දෙනා අත් දැකීමෙන් දන්නා දෙයක්. ඔක්කාරය, හුස්ම ගැනීමේ අපහසුතාව මෙවැනි තත්ත්වයක දී අත් විදින්නට පුළුවන්. 


නිවසේ මුළුතැන්ගෙයි ඉතාම ගුණදායක ඖෂධයක් තිබිලත් ඔබ දැනගෙන හිටියෙ නැහැ නේද? කලින් සදහන් කළ රෝග ලක්ෂණ තියෙනවනම් බණ්ඩක්කා හතරක් පහක් සිහින්ව පෙති ගහන්න. මෙය පිරිසිදු ජලය සහිත වීදුරුවකට දමා පැයක් පමණ වසා තබන්න. අනතුරුව එම ජලය පානය කරන්න. මුත්‍ර දැවිල්ල වගේ මූත්‍ර පිට කිරීමේ අපහසුතාවයට, මුත්‍රා මඳ වශයෙන් පිටවීමට මෙම ප්‍රතිකාරය කදිමයි ක්‍රමයක්. මුත්‍ර සමග ශුක්‍රාණු පිට වීමෙන් පීඩා විඳින පුරුෂයන් සඳහා ද මෙම ප්‍රතිකාරය යොදාගන්නට පුළුවන්. 



ඒ වගේම කාන්තාවන්ට බලපාන රෝග තත්ත්වයක් තමයි ඇඟ උනුකරවා යාම සුද යාම කියලා කියන්නෙත් මේකටම තමයි. මේ තත්ත්වය නිසා කාන්තා පක්ෂය බරපතළ විදියට කායික හා මානසික පීඩා විඳිනවා. ඒ අයට  මෙම ප්‍රතිකාරය යොදාගන්න පුලුවන්. දින කිහිපයක්ම මේ විදියට උදේ කාලයේ කළ හැකි නම් ප්‍රශස්ත ප්‍රතිඵල අත්විඳීමට හැකි බව කියැවෙනවා. එසේම වඩා නොපැසුණු බණ්ඩක්කා කරල් කපා සලාදයක් ලෙසද මෙම රෝග තත්ත්වයන් සඳහා යොදාගන්නට පුළුවන්.

මූලාශ්‍ර - වෙද අත් පොත...


Monday, September 28, 2020

කස කසා ඇට වල ඔබ නොදත් ගුණ.....


බොහෝ දෙනා කස කසා ඇට යොදාගනු ලබන්නේ ආහාර වර්ග හා බීම වර්ගවල අලංකාරය සඳහාය. නමුත් බොහෝ දෙනා නොදැන සිටි කරුණක් වන්නේ කස කසා ඇටවල ඉතා ගුණදායක පෝෂ්‍ය පදාර්ථයන් ඇති බවය.

හින්දි භාෂාවෙන් කස කසා ඇට හඳුන්වනු ලබන්නේ කුෂ් කුෂ් ලෙසිනි. කස කසා ඇට නිල් සහ සුදු වර්ණවලින් යුක්තය. පෝෂ්‍ය ගුණයන් කිහිපයක්ම කස කසා ඇටවල අඩංගුව පවතී.

කස කසා ඇටවල තෙල් මඟින් කාන්තාවන්ගේ සරුභාවය වැඩිදියුණු කරගත හැක. විශේෂයෙන් පැලෝපීය නාලවල ඇති අපද්‍රව්‍ය කොටස, අනවශ්‍ය කොටස, දියකර හැරීමේ හැකියාවත් කසකසා ඇටවල අන්තර්ගතව පවතී.

ලිංගික ශක්තිය උත්තේජනය කිරීමේ හැකියාවත් කසකසා ඇටවල පවතී. කස කසා වල ඇත්තේ ජලයේ දිය නොවන කෙඳිවන අතර ඒවා ආහාර දිරවීම සඳහා ඉතා ප්‍රයෝජනවත් වේ. එමඟින් මළ හොඳින් පිටකිරීමට උදව් කෙරේ. අර්ශස් ඇති රෝගීන්ට කස කසා ඇට ඉතා ගුණදායක වේ.

කස කසා ඇට අඩංගු බීම වර්ග පානය කිරීමෙන් කෝටිසෝල් (හෝමෝනය) පහළ බසී. එමඟින් මානසික පීඩනය දුරැකර ආතතිය අඩුකර සිරුර නිශ්චලතාවයට පත්කර නින්ද හොඳින් ඇති කෙරේ. මේ නිසා නින්දට පෙර කස කසා ඇට සහිත බීම වීදුරුවක් පනය කර නින්දට යාමෙන් මහන්සිය දුරැකර සුවබර නින්දක් උදාකරයි.

නිතරම තුවාල හටගන්නා රෝගීන්ටද කස කසා ඇට සහිත බීම ඉතා ගුණදායක වේ. එමඟින් සිරුර සිසිල් කිරීමක් සිදුවන අතර විශේෂයෙන් මුඛයේ තුවාල ඉතා ගුණදායක වේ. මෙහි කාබෝහයිඩ්‍රේට් ඇතුළු බොහෝ පෝෂණ සංඝටක අන්තර්ගතව පවතී. එම නිසා ප්‍රතිශක්තිය ඇතිකර රෝග ඇතිවීම වළකාලයි. මොළයේ ක්‍රියාකාරීත්වයට උදව් කෙරේ. මේ නිසා බුද්ධි වර්ධනය සඳහා බොහෝ උපකාරී වේ.

සැලකිය යුතු ප්‍රමාණයේ කැල්සියම් අන්තර්ගතව පැවතීමෙන් බොහෝ රෝග වළක්වා ගැනීමට උදව් කෙරේ. පැලෝපීය නාල අවහිරතා මඟහැරේ. ආර්තවහරණයෙන් පසුව කාන්තාවන්ට ඇතිවන අස්ථි සම්බන්ධ රෝග සඳහාද ඉතා ගුණදායක වේ. සැලකිය යුතු කෙඳි ප්‍රමාණයක් අඩංගු වීම නිසා දියවැඩියා රෝගීන්ටද ගුණදායක වේ.

හිසකෙස්වලට මෙන්ම සමටද ඉතා ගුණදායක වේ. දද කුෂ්ඨ ඇතිවීම වළකාලයි. විටමින් බී 6 අඩංගු වීම හේතුවෙන් රක්තහීනතාවයට ඉතා ගුණදායක වේ. පිළිකා නාශක ගුණයත් කස කසා ඇටවල පවතී. විටමින් බී සහ කැල්සියම් මඟින් ස්නායු පද්ධතියේ රෝග ගණනාවකට සුවය ලබාදේ. තයිරොයිඩ් ග්‍රන්ථයේ ක්‍රියාකාරීත්වයට මෙය උදව් කෙරේ. පෙනීමට ඉතා ගුණදායක වේ.

නමුත් කිසි විටකත් එක දිගට සෑම දිනකම කස කසා ඇට ගැනීමත් බොහෝ ප්‍රමාණයක් එක්වරම ගැනීමත් අහිතකරය.


උපුටා ගැනීමකි.

Friday, September 4, 2020

රෝග රැසකට දිව ඔසුවක්.....

 


අද වෙද අරණ පිටුවෙන් ගෙන එන්නේ කොත්තමල්ලි ශාකයේ ගුණ පිළිබදවයි. කොත්තමල්ලි යනු අප කොයි කවුරුත් හොඳින් හඳුනන ඖෂධයකි. ආහාර රසවත් කරන තුනපහ මිශ්‍රණයේ වැඩි ඉඩක් වෙන්වනනේ කොත්තමල්ලි සඳහා ය. ඒ නිසාම ඖෂධයක් ලෙස පමණක් නොව ආහාරයක් ලෙස ද කොත්තමල්ලි මුළුතැන්ගේ තුළ නිරන්තරව භාවිතයට ගැනිණි. වැසි වැටෙන්නට පටන්ගත් සැණින් කොත්තමල්ලී මිටක් සමඟ ගෙවත්තේ වවා තිබූ අමු ඉඟුරු කැබැල්ලක් තලා භාජනයකට දමා තම්බා ගැනීමත්, ඉන්පසුව සීනි සමඟ හෝ නැතිව පානය කිරීමත් අද ද ගැමි නිවෙස් වල සිදුකෙරෙන සුපුරුදු කටයුත්තකි.

ආහාර රස ගැන්වීම මෙන්ම සුවඳවත් කිරීම සඳහා යොදා ගැනෙන තුනපහ සඳහා ගැනෙන මූලික කුළුබඩු වර්ගයක් ලෙස ද කොත්තමල්ලි යොදා ගැනේ. මෙහි ඇති ජීර්ණ පද්ධතිය උත්තේජනය කිරීම මඟින් ආහාර දිරවීමට අනුබල දීමේ ගුණය වඩා ප්‍රයෝජනවත් ය. මෙහි ඇට හෝ කුඩු පමණක් නොව කොත්තමල්ලි කොළ ද ආහාර රසවත් කිරීම පිණිස බටහිර රටවල පවා යොදා ගැනෙයි.

මණ්‌ඩුකපර්ණී කුලයට අයත් කොත්තමල්ලි ඉන්දියාවේ සහ පකිස්‌ථානයේ සෑම ප්‍රදේශයන්හිම වැවෙනු ලැබේ. ධාන්‍යා, ධාන්‍යක, ආර්ද්‍රිකා, කුස්‌තුම්බුරු ආදී සංස්‌කෘත නාම වලින් හඳුන්වනු ලබන අතර කොත්තමල්ලි යනු ද්‍රවිඩ නාමයයි. සිංහල නම ‘කොතඹුරු’ වුවද බොහෝ දෙනා භාවිත කරන්නේ කොත්තමල්ලි යන නමයි. ඉංග්‍රීසියෙන් Coriander ලෙස හදුන්වන කොත්තමල්ලී ලංකාවේ යහමින් නොවැවෙන නමුදු අතීතයේ සිටම ඉන්දියාවෙන් හෝ පාකිස්තානයෙන් ආනයනය කොට භාවිත කොට තිබේ. එසේම කොත්තමල්ලී ඖෂධයක්, සාම්ප්‍රදායික පානයක් ලෙස භාවිතයට ගැනීම ලොව බොහෝ රටවල ජනතාවගේ පුරුද්දකි.

විද්‍යාත්මක වශයෙන් සැලකීමේදී එහි ඇති ප්‍රතිප්‍රදාහක ගුණත්, විටමින් C වලින් අධික වීමත්, විටමින් B අඩංගු සංකිර්ණ වලින් පරිපූර්ණ වීමත් නිසා බටහිර වෛද්‍ය විද්‍යාවේ පිළිගැනීම් අනුවද කොත්තමල්ලි බැහැර නොකළ යුතු ඖෂධීය පරිපූරකයකි.කොත්තමල්ලි කොළවල යකඩ, මැග්නීසියම්, මැංගනීස් සහ විටමින් ඒ, බී, සී අඩංගු ය.

කොත්තමල්ලි වල කෂාය, තික්‌ත, කුළු, මධුර යන රස හතර ම පවතී. වීර්යයෙන් උෂ්ණය; විපාකයෙන් මධුරය; ගුණයෙන් ලඝු සහ ස්නිග්ධ ය. වැසි සමයත් සමඟ කොත්තමල්ලී සහ ඉඟුරු එකට තම්බා පානය කිරීමෙන් ශරීරයට ඇතිවන ප්‍රධාන ප්‍රයෝජන දෙකකි. පළමු වැන්න නම් වැස්සත් සමඟ වෙනස්වන පරිසර උෂ්ණත්වය නිසා ශරීරයේ උණුසුම රැක ගැනීමයි. ශරීරයේ උණුසුම නිසි පරිදි පවත්වාගැනීමෙන් ප්‍රතිශක්තිකරණ හැකියාව වර්ධනය වීම දෙවැනි ගුණාංගයයි. මේ නිසා වැසි සමයක් නොවූවද නිරන්තරව වැළඳෙන සෙම් රෝග සහ උණ රෝග වළින් ආරක්ෂා වීමට ඉඟුරු කොත්තමල්ලී පානය වැදගත් වේ.

බොහෝ දෙනා සැහැල්ලුවෙන් සැලකුවද කොත්තමල්ලී සතුව සුවිශේෂ ගුණාංග ගණනාවක් ඇත. ශරිරයට අවශ්‍ය පෝෂණ ගුණාංග පවා ලබාදීමේ හැකියාවක් කොත්තමල්ලි සතුව ඇත. මවගේ මිය යෑම නිසා හෝ වෙනත් හේතුවක් නිසා මව්කිරි නොලැබී යන ළදරුවන්ට අතිතයේ දී ලබාදුන් ආහාර පරිපූරකය වූයේ කොත්තමල්ලී තැම්බූ වතුරයි. සමහරවිට මාස 6-7ක කාලයක් ම කොත්තමල්ලි තැම්බූ වතුරෙන් පණ ගැටගසාගත් ළදරුවන් කෘතිම ළදරු ආහාර පරිපූරක නොවූ ඒ කාලයේ අපේ ගම්වල විසූහ. “කොත්තමල්ලි වතුරෙන් හැදුණු එකා” වැනි තවමත් අතරින් පතර ඇසෙන ගැමි කියමන් වලට පාදකවී ඇත්තේ මේ කරුණයි.

කොත්තමල්ලිවල පවතින උෂ්ණ වීර්යය නිසා ශරීරයේ වාත කෝපයෙන් හටගන්නා කැක්කුම් සහ වේදනා සමනය වේ. එසේම එහි ඇති මධුර රස හේතුවෙන් ශරීරයේ ඇතිවන පිත් කෝප සමනය කළ හැකිය. මේ අනුව කොත්තමල්ලී තම්බා බීමෙන් වුවද ශරීරයේ තුන්දොස් සමනය කළ හැකිය.,

එසේම අපගේ මොළයේ ක්‍රියාකාරීත්වය ප්‍රශස්තව පවත්වා ගැනීමටද කොත්තමල්ලී වලට හැකියාවක් ඇත. වැසි සමයේදී අපිරිසිදු වතුර පානයෙන් ඇතිවන මුත්‍රා ආසාදන වෙතොත් ඒවා සුවකිරිමට ද කොත්තමල්ලි තම්බා පානය කිරීම සුදුසු ය. ආහාරයේ වස විෂ උරාගන්නා අක්මාව යළි ප්‍රකෘතිමත් කිරිමට ද කොත්තමල්ලී වලට හැකියාවක් ඇත. වෙනත් බොහෝ ඖෂධීය ගුණ දෙන ශාක හෝ පත්‍ර වර්ග නිරන්තරව භාවිතය නොසුදුසු යැයි නිර්දේශ කළද කොත්තමල්ලී නිරන්තර භාවිතයෙන් ශරිරයට කිසිදු අගුණයක් ඇති නොවේ. වයස් භේදයකින් තොරව ළදරුවාගේ සිට මහල්ලා දක්වා සැමටම කොත්තමල්ලී පානය නිර්දේශ කළ හැකිය.

වැසි සමයේ අපිරිසිදු ආහාර ගැනීම නිසා ඇතිවන අජිර්ණ, අතීසාර, පාචන අවස්ථා වලදී ඉරිවේරිය සහ කොත්තමල්ලි සම පමණ ගෙන තම්බා බීමෙන් සුවය සලසා ගත හැකිය. කොත්තමල්ලි ඇට, හොඳින් වියලූ හීන් අරත්ත අල, වියළි ඉඟුරු, වියළි වෙනිවැල්ගැට සම පමණ ගෙන කුඩු කර තබාගෙන කෝපි මෙන් වත්කර බීමට ගැනීමෙන් ශරිර පද්ධති වල ක්‍රියාකාරීත්වය ප්‍රකෘතිමත් ව පවත්වා ගත හැකිය. තේ වෙනුවට හොඳ විකල්පයක් ලෙසද මෙය භාවිතයට ගත හැකිය. එදිනෙදා වැළඳෙන ශ්වසන අපහසුතා, හිසරදය, ඇඟපත දැවිල්ල, මහන්සිය ආදියට ඔසුවක් ලෙස ද මේ සංයෝගය යෝග්‍ය වේ.

අම්ලපිත්ත රෝගය සඳහා කොත්තමල්ලි තම්බා බීමෙන් සහනය සලසා ගත හැකිය. ඇඟපතේ දැවිල්ල ඇති අවස්ථා වල මේ වතුර හොඳින් නිවෙන්නට හැර සීනි සමඟ පානය සුදුසුය. කාන්තාවන්ගේ මාසික වේදනා අවස්ථා වලදී කොත්තමල්ලි කුඩු මේස හැන්දක් පමණ පිරිසිදු වීදුරුවකට දමා පැය අටක් පමණ තබා උදෑසනින් හිස්බඩ පානය කිරීම මඟින් ඇතිවන අධික වේදනාව සමනය කරගත හැකිය. වකුගඩුවල අපහසුතා, ඉදිමීම් ඇති විට කොත්තමල්ලි හා පත්පඩාගම්, බෙලිමුල් තම්බා බීමෙන් සහනය ලබාගන්නට පුළුවන. පැපොල රෝගය වැළඳුණු විටෙකදි පත්පාඩගම් සමඟ කොත්තමල්ලී තම්බා දෙන්නේ තුවාල වල වේදනාව අඩුකර ගැනීම පිණිස ය.

කොත්තමල්ලි ඇටයේ මෙන්ම කොළයේ ද බොහෝ ගුණ ඇත. කොළ පළාවක් ලෙස සකස් කර ආහාරට එක් කරගත හැකිය. ශක්තිය වර්ධනය කිරීමට මෙන්ම ආහාර ජීර්ණ ක්‍රියාවලියට වැදගත් වේ. සුප් වර්ග පිළියෙල කරන විට භාවිත කිරීමෙන් ප්‍රශස්ත රසයක් මෙන්ම ඖෂධීය ගුණය ද නොඅඩුව ලැබේ.

කොත්තමල්ලි කොළ පමණක්‌ නොව මුළු පැළෑටිය ම ආහාරමය සහ ඖෂධිය වශයෙන් ප්‍රයෝජනයට ගත හැකිය. ආමාශ හිතකාරීය; කෑම රුචිය වඩවන අතර ශාරීරික බාහිර හා අභ්‍යන්තර ප්‍රදාහ වළකන, කොලෙස්ටරෝල් හෙවත් මේද වෘද්ධි, දියවැඩියා හෙවත් මධුමේහය පාලනය කිරීමට ද අජීර්ණ, මුඛ තුවාල, පාණ්‌ඩුව, අක්‍ෂි රෝග ආදියට ද මානසික සුවතාව වර්ධනය කරගැනීමට ද කොත්තමල්ලි කොළ ආහාරයට එකතු කරගත හැකිය.

ඌෂ්ණය නිසා කටේ ඇතිවන තුවාල තත්ත්වයන් සමනය කරන අතර මුවට නැවුම් බවක් ලබා දෙ කොත්තමල්ලි සිරුරේ අස්ථි නිරෝගී කරන අතර පාචනය වැනි රෝග ඇති කරන විෂබීජ නසයි. ඩයරියා රෝග තත්ත්වය සුව කිරීමට ද කොත්තමල්ලි වලට හැකියාව ඇත. ඇස් රෝගවලින් දෑස් ආරක්ෂාකර ගැනීමට ද කොත්තමල්ලි භාවිතය ඔබට ප්‍රයෝජනවත් වේ. අධි රුධිර පීඩනය අඩු කිරීමට ද සරම්ප රෝගය වැළැක්වීමට ද කොත්තමල්ලි වලට පුළුවන. රසායන ද්‍රව්‍ය වෙනුවට ස්වභාවික ශාක සාර මඟින්, අපගේ සෞඛ්‍ය ගැටලු සඳහා පිළියම් යොදන්නට හැකිනම් එය දිගුකාලීන සුව දිවියකට මඟ පාදනු ඇත.


උපුටා ගැනීමකි.



Monday, August 10, 2020

ඖෂධීය ගුණ අනූන අබ....



 වෙද අරණ පිටුවට මෙවර ප්‍රස්තූතය වන්නේ අබ ශාකය ගැනයි. සිංහලයේ රසකාරක අතර අබ වලට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. මුළුතැන්ගෙයට අබ නැතිවම බැරිය. ව්‍යංජනයක් තෙම්පරාදු කරන විට අබ නැත්නම් ඒ තෙම්පරාදු වෙන් වැඩක් නැත. අබ රසයට එපමණටම අපේ දිව හුරු වී තිබේ. තරු පන්තියේ හෝටල් වලට ද අබ මිශ්‍රණය අත්‍යාවශ්‍ය  රසකාරකයකි.

බ්‍රැසිකා ජුන්සෙයා යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන අබ ශාකය අයත් වන්නේ brassicaceae කුලයට.

අබ වර්ග හඳුනාගන්න 

මෙම ශාක ගණයට ඇතුළත් වන අබ විශේෂ ගණනාවකි. අප අතරේ භාවිතා වන බ්‍රැසිකා ජුන්සෙයා.එළ අබ (brassica alba), කළු අබ (brassica nigra) පෙන්වා දීමට පුළුවන්. වාර්ෂික ශාක ගණයට වැටෙන අබ අතු ඉති විහිදා අඩි තුනක් හතරක් උසට වැවෙන ශාකයකි. කුඩා කිනිත්තක කහපාට කුඩා මල් හටගනී. සෙන්ටිමීටර් හතරක් පමණ ප්‍රමාණයේ කරල් දක්නට ලැබේ. ආර්ථික බෝගයක් ලෙසින් ඉන්දියාවේ චිරප්‍රසිද්ධය. උත්තර ප්‍රදේශ්, බෙංගාලයේ සහ බිහාර් යන ප්‍රාන්ත එහිදී ප්‍රමුඛත්වයක් ගනී. ලංකාවේ ද වියළි කලාපයේ හේන්වල සුළු පරිමාණයෙන් වගා කරනු දක්නට ලැබේ. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී අබ වලට ඉතා ඉහළ වැදගත්කමක් කරගෙන සිටි. සිද්ධාර්ථ සහ සර්ෂප යන නම්වලින් සංස්කෘතයෙන් ලියවී ඇති වෙද පොත් වල හදුන්වා දී තිබේ. එම ග්‍රන්ථ වල අබ වර්ග හතරක් සඳහන් කර ඇත. ඒවායේ ගුණ අගුණ ද වෙන් වෙන් වශයෙන් දක්වා තිබීම පහසුවකි. ඒවා නම් රාජිකා, ගෞර, සිද්ධාර්ථ, රක්ත සිද්ධාර්ථ සහ කෘෂ්ණ රාජිකා ලෙසිනි. දැන් ඒවායේ විශේෂතා පිළිබද විමසීමකට යොමු වෙමු.

රාජිකා සාමාන්‍ය අබ 

මේ අපි ප්‍රයෝජනයට ගන්නා අබ විශේෂයයි. එය රසයෙන් තිත්තය. ඌෂ්ණ ගුණ ඇත. කුසගිනි වඩයි. පිත වර්ධනය කරන අතර සෙම් ආශ්‍රිත රෝග සමනය කිරීම සිදුවේ. කුරුමිණි රෝග වලට ගුණ ලබාදෙන බව සඳහන්ය. ප්ලීහාවේ රෝග, වණ සහ සුව කිරීම සඳහා භාවිතා වේ. 

ගෞර සිද්ධාර්ථ එළ අබ

උෂ්ණ ගුණැතිය. සෙම සහ වාතය සමනය කර ගුණ ලබාදේ. කුරුමිණි රෝග සමනය කරයි. ආමාශයේ හා අන්ත්‍රවල දී ආහාර නිසි ලෙස ජීර්ණය නොවීම හේතුවෙන් හටගන්නා ආමවාත අවස්ථාවේදී, කනේ ආබාධ, ශීර්ෂාබාධ සහ කුෂ්ඨ රෝග සඳහාද ගුණ ලබාදේ. 

රක්ත සිද්ධාර්ථ රතු අබ

සැර අධිකයි. පිත සහ සෙම සමනය කරයි. කුසගිනි වඩන අතර කුරුමිණි රෝග සහ කුෂ්ඨ රෝග සඳහා ගුණ ලබාදේ. 

කෘෂ්ණ රාජිකා කළු අබ 

රක්ත සිද්ධාර්ථ සේම ඇර අධිකය. පිත, සෙම සමනය කරයි. රතු අබ ගුණයම ඇත. 


ආයුර්වේදයේ දී අබ බහුලවම භාවිතා වන්නේ තෙල් වශයෙන් ය. තෙල් සෑදීම සඳහා අබ අඹරා ලබාගන්නා පල්පය භාවිතාවේ. අමුද්‍රව්‍යයක් ලෙස යොදා තනන ප්‍රබලම ඔසුව මහා සිද්ධාර්ථ තෛලය යි. එල අබ ශුද්ධ වස්තුවක් ලෙස සැලකේ.

අඹරාගත් අබ මෙන්ම අබ තෙල් යොදා සකසන ආහාර වල රසය ගැන ඔබට අමුතුවෙන් කිවයුතු නොවේ. අබ තෙල්වල මේදය බහුල නැත. නිතර අබ තෙල් හෝ අබ භාවිතය සුදුසු නොවෙතත් මහත් සේ තරබාරු පුද්ගලයන් සඳහා සතියකට කිහිප දිනක් එබදු ආහාර ගැනීමෙන් තරබාරුබව යම් ප්‍රමාණයකට අඩුකර ගැනීමට හැකිවනු ඇත. අබ ස්වභාවයෙන්ම උෂ්ණ ගුණැති ය. එබැවින් අබ කුළුබඩුවක් ලෙසින් අවස්ථාවෝචිතව භාවිතා කිරීමට ගෘහනියෝ අත්දැකීමෙන්ම දනිති. ඒහෙත් ඖෂධයක් ලෙසින් භාවිතා කිරීමේදී වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ප්‍රඥාගෝචරය ක්‍රියාවකි. 

නමුත් පමණ ඉක්මවා පරිභෝජනය කිරීමෙන් නාසය, උගුර, උදරය ආදී අවයවයන් තුල ඇතිවන දැවිල්ල සමඟ මුත්‍රා දැවිල්ල ද හට ගැනීමේ ඉඩකඩ පවතී. එසේම වකුගඩු රෝගීන් මෙන්ම ගැස්ට්‍රයිටිස් රෝගයෙන් පෙළෙන රෝගීන් සඳහා ද අබ ආශ්‍රිත ඖෂධ ගුණදායක නැත. 

එසේම මතකයේ තබා ගත යුතු තවත් සුවිශේෂ උපදේශයක් දිය යුතුමය. බාහිර වශයෙන් ආලේප තැනීමේදී කළු අබ ද, ශරීර අභ්‍යන්තර රෝග සඳහා එළ අබ ද භාවිත කළ යුතු බව ආයුර්වේදයේ දක්වා තිබේ. මේ සියල්ල අතරේ තවත් සුවිශේෂ කර්තව්‍යක් සඳහා පැරැන්නන් යොදාගත් බවට සාධක තිබේ. එනම් ඇස් වහ, කට වහ දෝෂ දුරු කිරීම සඳහා අබ දුම නිවසට හා ඒ වටා ඇල්ලීම පුරාණ ගැමි සිරිතකි. ඒවායේ සත්‍ය තිබියදී එම දුම් ඇල්ලීම තුළින් විෂබීජ නැසීම සිදුවන බව නම් සත්‍යයකි. මේ බව නූතනයේ පරීක්ෂණ මගින් ද නිගමනය කර ඇත. 

අබ භාවිතයෙන් රුව වැඩීමේ සත්කාර ද කරගත හැකි බව ආයුර්වේදයේ දක්වා තිබේ. හන්දිපත් වේදනාවෙන් මිදී සිරුරේ කාර්යක්ෂමභාවය වැඩි කිරීමට ද, චර්මගත විෂබීජ මර්දනය, සමේ දීප්තිය වැඩි කිරීම, සම එල්ලා වැටීම ආදී තත්ත්වයන් යථා තත්ත්වයට ගැනීම සඳහා ද අබ ප්‍රයෝජනයට ගැනීමට පුළුවන. මෙම ප්‍රතිකාර ඉන්දියාවේ ඉතා දියුණු මට්ටමින් සිදු වේ.


Saturday, December 14, 2019

නිතරම වැලදෙන සෙම්ප්‍රතිශ්‍යාව



වත්මන් සමාජයේ සෙම් රෝගවලින් පීඩා විදින්නෝ අපමණය. මෙසේ සෙම් රෝග ඇති වීමට මුල් වන කරුණු අතර බාහිරින් ශරීරගත වන විෂබීජ වර්ග නිසා සෙම නරක් වීම එක් හේතුවක් වන අතර, ශරීර අභ්‍යන්තරයේම ඇති වන දෝෂ දුශ්‍යතා ඇතුලු නොයෙක් විෂමතා ද ප්‍රධාන කාරණා වශයෙන් සැලකේ. ශරීර අභ්‍යන්තරයට බාහිරින් ඇතිවන ඇතුළු වන විෂ අණු සහ ශරීර අභ්‍යන්තරයේම හටගන්නා විෂ වර්ග වලට විරුද්ධව සෙම සටන් කරයි. සෙම්ප්‍රතිශ්‍යා වෛරස උණත් එසේ මාරන්තික විෂකි. නමුත් දින කීපයක් හෝ ඇතුලත සෙම ප්‍රකෝප වී සටක් කර එම විෂ මැඩ හෙළීමේ ප්‍රතිශක්තිජනක හැකියාවක් සෙම් ධාතුවේ පවතී.

මෙසේ මැරුණු විෂ සෛල සහ ශ්ලේශ්මල පටල දූෂිත පරිසර ආශ්‍රයෙන් ශරීර ගත වන වෙනත් ආගන්තුක බාහිර විෂමතාද සම්මිශ්‍රව තව දුරටත් නරක් වූ විෂ සහිත දියර සෙම ස්පර්ශ වීම හේතුකොට නාසා ග්‍රන්ථි ඉදිමීම නිසා ඇතිවන හුස්ම ගැනීමේ අපහසුතා, දාහය, කිවිසුම් යාමෙන් ඇතිවන පීඩනය නිසා කර්ණනාල ගතවන දියර සෙම නරක් වීම නිසා හට ගන්නා කර්ණශූල, කන්වලින් සැරව ගැලීම, දුර්ගන්ධය, සොටු දිය ගැලීම. ඇස් රතු වී කබ කදුළු ගැලීම, උගුර රිදීම, කැසීම, වේගවත් නාඩිය, උණ, මන්දාග්නිය සහ තවත් උර්ධවගත, උභයගත උපද්‍රව රාශියක් ඇති කරන ප්‍රතිශ්‍යාව ඉතා අනතුරුදායක රෝග අවස්ථාවකි.

සෙම් ප්‍රතිශ්‍යාව වැළදී විට සෙම පැසවා නිසි පරිදි ඒවා ඉවත්ව යන තුරු ස්නානය යෝග්‍ය නොවේ. වෛරසයට විරුද්ධ ශාරීරික ප්‍රතිශක්ති වර්ධනය සදහා අමු ඉගුරු, කොත්තමල්ලි තම්බා කීප වරක් බීම සුදුසුයි. සෙම් කෝපය වැඩිනම් කොත්තමල්ලි බැද පියලි කර 20g, වියළි ඉගුරු 15g, මදක් තලා වතුර පත අට එකට සිද පෙරා උදේ සවස දෙවේලට පානය කළ යුතුය. ඊටම නවරත්න කල්කය මදටිය ඇට 1- 2 ප්‍රමාණයට දියකර බොන්න. සෙම සමනයවේ.

ප්‍රතිශ්‍යාව සමග උණ ඇතිවීම බොහෝ විට සිදුවේ. එවැනි අවස්ථා වල උණ සහ සෙම් ප්‍රතිශ්‍යාව යන ද්‍ර්කම මැඩපැවැත්වීමට ප්‍රතිකාර යෙදිය යුතුයි. ප්‍රතිශ්‍යා උණෙහි දී පළමුවෙන්ම වියළි ඉගුරු, කොත්තමල්ලි, වියළි තිප්පිලි කරල් සුදුසු අනුපාතයට ගෙන මදක් කබලේ බැද මදක් තලාගෙන අවශ්‍ය ප්‍රමාණයට වතුර ටිකක් ලිප තබා උතුරන විට ඉහත බෙහෙත් මිශ්‍ර කර හැලිය වසා හොදින් තැම්බීමට හැර පසුව බීමට අවශ්‍ය ප්‍රමාණය අරං තබා නැවත වසා උතුරුවා හැලිය බිම තබා මුහුණට හොදින් දුම් වදින සේ දුම් හැලියට සෑහ්‍ර්න උසකින් නැමී සිට හිස සහ හැලිය වැසෙන සේ රෙද්දකින් වසා පොරවා මුහුණ පා සිට මුට්ටියේ දුම මුහුණට හොදින් ස්පර්ශ වන ආකාරයට ටික ටික පහත් වෙමින් මුහුණ බදුනට ලංකර දුම් අල්ලන්න.

මෙය ඉතාම ප්‍රවේශමෙන් කළ යුතුයි. විෂ අණු විනාශ කිරීම සදහා ආයුර්වේදයේ එන අගනා භෞතචිකිත්සා ක්‍රමයකි. මෙහෙ සදහන් සියලු ප්‍රතිකාර කුඩා දරුවන්ට කිරීමේදී වෛද්‍ය උපදෙස් නිමැතිව නොකල යුතුයි. එසේ ආරක්ෂාව සහිතව වෙදු පෑමෙන් පසු කළ යුත්තේ සෑදූ ඔසු පැන් කොටස සුදුසු පමණට කීප වරක් පානය කිරීමයි. අනුපානයට ගන්නේ සීනිය.

තවද දෙහි, දොඩම්, නාරං, යකිනාරං, පඹුරු ආදී පස් පැගිරි කොළ තම්බා දුම් ඇල්ලීම ද සෙම්ප්‍රතිශ්‍යාවට අගනා ප්‍රතිකාරයකි.



සම්මානලාභී විද්‍යාපති වෛද්‍ය කීර්ති පණ්ඩිත
ර. මු. ධර්මදාස රන්පත වෙද මහතා

උපුටා ගැනීමකි.