Monday, September 28, 2020

කස කසා ඇට වල ඔබ නොදත් ගුණ.....


බොහෝ දෙනා කස කසා ඇට යොදාගනු ලබන්නේ ආහාර වර්ග හා බීම වර්ගවල අලංකාරය සඳහාය. නමුත් බොහෝ දෙනා නොදැන සිටි කරුණක් වන්නේ කස කසා ඇටවල ඉතා ගුණදායක පෝෂ්‍ය පදාර්ථයන් ඇති බවය.

හින්දි භාෂාවෙන් කස කසා ඇට හඳුන්වනු ලබන්නේ කුෂ් කුෂ් ලෙසිනි. කස කසා ඇට නිල් සහ සුදු වර්ණවලින් යුක්තය. පෝෂ්‍ය ගුණයන් කිහිපයක්ම කස කසා ඇටවල අඩංගුව පවතී.

කස කසා ඇටවල තෙල් මඟින් කාන්තාවන්ගේ සරුභාවය වැඩිදියුණු කරගත හැක. විශේෂයෙන් පැලෝපීය නාලවල ඇති අපද්‍රව්‍ය කොටස, අනවශ්‍ය කොටස, දියකර හැරීමේ හැකියාවත් කසකසා ඇටවල අන්තර්ගතව පවතී.

ලිංගික ශක්තිය උත්තේජනය කිරීමේ හැකියාවත් කසකසා ඇටවල පවතී. කස කසා වල ඇත්තේ ජලයේ දිය නොවන කෙඳිවන අතර ඒවා ආහාර දිරවීම සඳහා ඉතා ප්‍රයෝජනවත් වේ. එමඟින් මළ හොඳින් පිටකිරීමට උදව් කෙරේ. අර්ශස් ඇති රෝගීන්ට කස කසා ඇට ඉතා ගුණදායක වේ.

කස කසා ඇට අඩංගු බීම වර්ග පානය කිරීමෙන් කෝටිසෝල් (හෝමෝනය) පහළ බසී. එමඟින් මානසික පීඩනය දුරැකර ආතතිය අඩුකර සිරුර නිශ්චලතාවයට පත්කර නින්ද හොඳින් ඇති කෙරේ. මේ නිසා නින්දට පෙර කස කසා ඇට සහිත බීම වීදුරුවක් පනය කර නින්දට යාමෙන් මහන්සිය දුරැකර සුවබර නින්දක් උදාකරයි.

නිතරම තුවාල හටගන්නා රෝගීන්ටද කස කසා ඇට සහිත බීම ඉතා ගුණදායක වේ. එමඟින් සිරුර සිසිල් කිරීමක් සිදුවන අතර විශේෂයෙන් මුඛයේ තුවාල ඉතා ගුණදායක වේ. මෙහි කාබෝහයිඩ්‍රේට් ඇතුළු බොහෝ පෝෂණ සංඝටක අන්තර්ගතව පවතී. එම නිසා ප්‍රතිශක්තිය ඇතිකර රෝග ඇතිවීම වළකාලයි. මොළයේ ක්‍රියාකාරීත්වයට උදව් කෙරේ. මේ නිසා බුද්ධි වර්ධනය සඳහා බොහෝ උපකාරී වේ.

සැලකිය යුතු ප්‍රමාණයේ කැල්සියම් අන්තර්ගතව පැවතීමෙන් බොහෝ රෝග වළක්වා ගැනීමට උදව් කෙරේ. පැලෝපීය නාල අවහිරතා මඟහැරේ. ආර්තවහරණයෙන් පසුව කාන්තාවන්ට ඇතිවන අස්ථි සම්බන්ධ රෝග සඳහාද ඉතා ගුණදායක වේ. සැලකිය යුතු කෙඳි ප්‍රමාණයක් අඩංගු වීම නිසා දියවැඩියා රෝගීන්ටද ගුණදායක වේ.

හිසකෙස්වලට මෙන්ම සමටද ඉතා ගුණදායක වේ. දද කුෂ්ඨ ඇතිවීම වළකාලයි. විටමින් බී 6 අඩංගු වීම හේතුවෙන් රක්තහීනතාවයට ඉතා ගුණදායක වේ. පිළිකා නාශක ගුණයත් කස කසා ඇටවල පවතී. විටමින් බී සහ කැල්සියම් මඟින් ස්නායු පද්ධතියේ රෝග ගණනාවකට සුවය ලබාදේ. තයිරොයිඩ් ග්‍රන්ථයේ ක්‍රියාකාරීත්වයට මෙය උදව් කෙරේ. පෙනීමට ඉතා ගුණදායක වේ.

නමුත් කිසි විටකත් එක දිගට සෑම දිනකම කස කසා ඇට ගැනීමත් බොහෝ ප්‍රමාණයක් එක්වරම ගැනීමත් අහිතකරය.


උපුටා ගැනීමකි.

Friday, September 4, 2020

රෝග රැසකට දිව ඔසුවක්.....

 


අද වෙද අරණ පිටුවෙන් ගෙන එන්නේ කොත්තමල්ලි ශාකයේ ගුණ පිළිබදවයි. කොත්තමල්ලි යනු අප කොයි කවුරුත් හොඳින් හඳුනන ඖෂධයකි. ආහාර රසවත් කරන තුනපහ මිශ්‍රණයේ වැඩි ඉඩක් වෙන්වනනේ කොත්තමල්ලි සඳහා ය. ඒ නිසාම ඖෂධයක් ලෙස පමණක් නොව ආහාරයක් ලෙස ද කොත්තමල්ලි මුළුතැන්ගේ තුළ නිරන්තරව භාවිතයට ගැනිණි. වැසි වැටෙන්නට පටන්ගත් සැණින් කොත්තමල්ලී මිටක් සමඟ ගෙවත්තේ වවා තිබූ අමු ඉඟුරු කැබැල්ලක් තලා භාජනයකට දමා තම්බා ගැනීමත්, ඉන්පසුව සීනි සමඟ හෝ නැතිව පානය කිරීමත් අද ද ගැමි නිවෙස් වල සිදුකෙරෙන සුපුරුදු කටයුත්තකි.

ආහාර රස ගැන්වීම මෙන්ම සුවඳවත් කිරීම සඳහා යොදා ගැනෙන තුනපහ සඳහා ගැනෙන මූලික කුළුබඩු වර්ගයක් ලෙස ද කොත්තමල්ලි යොදා ගැනේ. මෙහි ඇති ජීර්ණ පද්ධතිය උත්තේජනය කිරීම මඟින් ආහාර දිරවීමට අනුබල දීමේ ගුණය වඩා ප්‍රයෝජනවත් ය. මෙහි ඇට හෝ කුඩු පමණක් නොව කොත්තමල්ලි කොළ ද ආහාර රසවත් කිරීම පිණිස බටහිර රටවල පවා යොදා ගැනෙයි.

මණ්‌ඩුකපර්ණී කුලයට අයත් කොත්තමල්ලි ඉන්දියාවේ සහ පකිස්‌ථානයේ සෑම ප්‍රදේශයන්හිම වැවෙනු ලැබේ. ධාන්‍යා, ධාන්‍යක, ආර්ද්‍රිකා, කුස්‌තුම්බුරු ආදී සංස්‌කෘත නාම වලින් හඳුන්වනු ලබන අතර කොත්තමල්ලි යනු ද්‍රවිඩ නාමයයි. සිංහල නම ‘කොතඹුරු’ වුවද බොහෝ දෙනා භාවිත කරන්නේ කොත්තමල්ලි යන නමයි. ඉංග්‍රීසියෙන් Coriander ලෙස හදුන්වන කොත්තමල්ලී ලංකාවේ යහමින් නොවැවෙන නමුදු අතීතයේ සිටම ඉන්දියාවෙන් හෝ පාකිස්තානයෙන් ආනයනය කොට භාවිත කොට තිබේ. එසේම කොත්තමල්ලී ඖෂධයක්, සාම්ප්‍රදායික පානයක් ලෙස භාවිතයට ගැනීම ලොව බොහෝ රටවල ජනතාවගේ පුරුද්දකි.

විද්‍යාත්මක වශයෙන් සැලකීමේදී එහි ඇති ප්‍රතිප්‍රදාහක ගුණත්, විටමින් C වලින් අධික වීමත්, විටමින් B අඩංගු සංකිර්ණ වලින් පරිපූර්ණ වීමත් නිසා බටහිර වෛද්‍ය විද්‍යාවේ පිළිගැනීම් අනුවද කොත්තමල්ලි බැහැර නොකළ යුතු ඖෂධීය පරිපූරකයකි.කොත්තමල්ලි කොළවල යකඩ, මැග්නීසියම්, මැංගනීස් සහ විටමින් ඒ, බී, සී අඩංගු ය.

කොත්තමල්ලි වල කෂාය, තික්‌ත, කුළු, මධුර යන රස හතර ම පවතී. වීර්යයෙන් උෂ්ණය; විපාකයෙන් මධුරය; ගුණයෙන් ලඝු සහ ස්නිග්ධ ය. වැසි සමයත් සමඟ කොත්තමල්ලී සහ ඉඟුරු එකට තම්බා පානය කිරීමෙන් ශරීරයට ඇතිවන ප්‍රධාන ප්‍රයෝජන දෙකකි. පළමු වැන්න නම් වැස්සත් සමඟ වෙනස්වන පරිසර උෂ්ණත්වය නිසා ශරීරයේ උණුසුම රැක ගැනීමයි. ශරීරයේ උණුසුම නිසි පරිදි පවත්වාගැනීමෙන් ප්‍රතිශක්තිකරණ හැකියාව වර්ධනය වීම දෙවැනි ගුණාංගයයි. මේ නිසා වැසි සමයක් නොවූවද නිරන්තරව වැළඳෙන සෙම් රෝග සහ උණ රෝග වළින් ආරක්ෂා වීමට ඉඟුරු කොත්තමල්ලී පානය වැදගත් වේ.

බොහෝ දෙනා සැහැල්ලුවෙන් සැලකුවද කොත්තමල්ලී සතුව සුවිශේෂ ගුණාංග ගණනාවක් ඇත. ශරිරයට අවශ්‍ය පෝෂණ ගුණාංග පවා ලබාදීමේ හැකියාවක් කොත්තමල්ලි සතුව ඇත. මවගේ මිය යෑම නිසා හෝ වෙනත් හේතුවක් නිසා මව්කිරි නොලැබී යන ළදරුවන්ට අතිතයේ දී ලබාදුන් ආහාර පරිපූරකය වූයේ කොත්තමල්ලී තැම්බූ වතුරයි. සමහරවිට මාස 6-7ක කාලයක් ම කොත්තමල්ලි තැම්බූ වතුරෙන් පණ ගැටගසාගත් ළදරුවන් කෘතිම ළදරු ආහාර පරිපූරක නොවූ ඒ කාලයේ අපේ ගම්වල විසූහ. “කොත්තමල්ලි වතුරෙන් හැදුණු එකා” වැනි තවමත් අතරින් පතර ඇසෙන ගැමි කියමන් වලට පාදකවී ඇත්තේ මේ කරුණයි.

කොත්තමල්ලිවල පවතින උෂ්ණ වීර්යය නිසා ශරීරයේ වාත කෝපයෙන් හටගන්නා කැක්කුම් සහ වේදනා සමනය වේ. එසේම එහි ඇති මධුර රස හේතුවෙන් ශරීරයේ ඇතිවන පිත් කෝප සමනය කළ හැකිය. මේ අනුව කොත්තමල්ලී තම්බා බීමෙන් වුවද ශරීරයේ තුන්දොස් සමනය කළ හැකිය.,

එසේම අපගේ මොළයේ ක්‍රියාකාරීත්වය ප්‍රශස්තව පවත්වා ගැනීමටද කොත්තමල්ලී වලට හැකියාවක් ඇත. වැසි සමයේදී අපිරිසිදු වතුර පානයෙන් ඇතිවන මුත්‍රා ආසාදන වෙතොත් ඒවා සුවකිරිමට ද කොත්තමල්ලි තම්බා පානය කිරීම සුදුසු ය. ආහාරයේ වස විෂ උරාගන්නා අක්මාව යළි ප්‍රකෘතිමත් කිරිමට ද කොත්තමල්ලී වලට හැකියාවක් ඇත. වෙනත් බොහෝ ඖෂධීය ගුණ දෙන ශාක හෝ පත්‍ර වර්ග නිරන්තරව භාවිතය නොසුදුසු යැයි නිර්දේශ කළද කොත්තමල්ලී නිරන්තර භාවිතයෙන් ශරිරයට කිසිදු අගුණයක් ඇති නොවේ. වයස් භේදයකින් තොරව ළදරුවාගේ සිට මහල්ලා දක්වා සැමටම කොත්තමල්ලී පානය නිර්දේශ කළ හැකිය.

වැසි සමයේ අපිරිසිදු ආහාර ගැනීම නිසා ඇතිවන අජිර්ණ, අතීසාර, පාචන අවස්ථා වලදී ඉරිවේරිය සහ කොත්තමල්ලි සම පමණ ගෙන තම්බා බීමෙන් සුවය සලසා ගත හැකිය. කොත්තමල්ලි ඇට, හොඳින් වියලූ හීන් අරත්ත අල, වියළි ඉඟුරු, වියළි වෙනිවැල්ගැට සම පමණ ගෙන කුඩු කර තබාගෙන කෝපි මෙන් වත්කර බීමට ගැනීමෙන් ශරිර පද්ධති වල ක්‍රියාකාරීත්වය ප්‍රකෘතිමත් ව පවත්වා ගත හැකිය. තේ වෙනුවට හොඳ විකල්පයක් ලෙසද මෙය භාවිතයට ගත හැකිය. එදිනෙදා වැළඳෙන ශ්වසන අපහසුතා, හිසරදය, ඇඟපත දැවිල්ල, මහන්සිය ආදියට ඔසුවක් ලෙස ද මේ සංයෝගය යෝග්‍ය වේ.

අම්ලපිත්ත රෝගය සඳහා කොත්තමල්ලි තම්බා බීමෙන් සහනය සලසා ගත හැකිය. ඇඟපතේ දැවිල්ල ඇති අවස්ථා වල මේ වතුර හොඳින් නිවෙන්නට හැර සීනි සමඟ පානය සුදුසුය. කාන්තාවන්ගේ මාසික වේදනා අවස්ථා වලදී කොත්තමල්ලි කුඩු මේස හැන්දක් පමණ පිරිසිදු වීදුරුවකට දමා පැය අටක් පමණ තබා උදෑසනින් හිස්බඩ පානය කිරීම මඟින් ඇතිවන අධික වේදනාව සමනය කරගත හැකිය. වකුගඩුවල අපහසුතා, ඉදිමීම් ඇති විට කොත්තමල්ලි හා පත්පඩාගම්, බෙලිමුල් තම්බා බීමෙන් සහනය ලබාගන්නට පුළුවන. පැපොල රෝගය වැළඳුණු විටෙකදි පත්පාඩගම් සමඟ කොත්තමල්ලී තම්බා දෙන්නේ තුවාල වල වේදනාව අඩුකර ගැනීම පිණිස ය.

කොත්තමල්ලි ඇටයේ මෙන්ම කොළයේ ද බොහෝ ගුණ ඇත. කොළ පළාවක් ලෙස සකස් කර ආහාරට එක් කරගත හැකිය. ශක්තිය වර්ධනය කිරීමට මෙන්ම ආහාර ජීර්ණ ක්‍රියාවලියට වැදගත් වේ. සුප් වර්ග පිළියෙල කරන විට භාවිත කිරීමෙන් ප්‍රශස්ත රසයක් මෙන්ම ඖෂධීය ගුණය ද නොඅඩුව ලැබේ.

කොත්තමල්ලි කොළ පමණක්‌ නොව මුළු පැළෑටිය ම ආහාරමය සහ ඖෂධිය වශයෙන් ප්‍රයෝජනයට ගත හැකිය. ආමාශ හිතකාරීය; කෑම රුචිය වඩවන අතර ශාරීරික බාහිර හා අභ්‍යන්තර ප්‍රදාහ වළකන, කොලෙස්ටරෝල් හෙවත් මේද වෘද්ධි, දියවැඩියා හෙවත් මධුමේහය පාලනය කිරීමට ද අජීර්ණ, මුඛ තුවාල, පාණ්‌ඩුව, අක්‍ෂි රෝග ආදියට ද මානසික සුවතාව වර්ධනය කරගැනීමට ද කොත්තමල්ලි කොළ ආහාරයට එකතු කරගත හැකිය.

ඌෂ්ණය නිසා කටේ ඇතිවන තුවාල තත්ත්වයන් සමනය කරන අතර මුවට නැවුම් බවක් ලබා දෙ කොත්තමල්ලි සිරුරේ අස්ථි නිරෝගී කරන අතර පාචනය වැනි රෝග ඇති කරන විෂබීජ නසයි. ඩයරියා රෝග තත්ත්වය සුව කිරීමට ද කොත්තමල්ලි වලට හැකියාව ඇත. ඇස් රෝගවලින් දෑස් ආරක්ෂාකර ගැනීමට ද කොත්තමල්ලි භාවිතය ඔබට ප්‍රයෝජනවත් වේ. අධි රුධිර පීඩනය අඩු කිරීමට ද සරම්ප රෝගය වැළැක්වීමට ද කොත්තමල්ලි වලට පුළුවන. රසායන ද්‍රව්‍ය වෙනුවට ස්වභාවික ශාක සාර මඟින්, අපගේ සෞඛ්‍ය ගැටලු සඳහා පිළියම් යොදන්නට හැකිනම් එය දිගුකාලීන සුව දිවියකට මඟ පාදනු ඇත.


උපුටා ගැනීමකි.



Monday, August 10, 2020

ඖෂධීය ගුණ අනූන අබ....



 වෙද අරණ පිටුවට මෙවර ප්‍රස්තූතය වන්නේ අබ ශාකය ගැනයි. සිංහලයේ රසකාරක අතර අබ වලට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. මුළුතැන්ගෙයට අබ නැතිවම බැරිය. ව්‍යංජනයක් තෙම්පරාදු කරන විට අබ නැත්නම් ඒ තෙම්පරාදු වෙන් වැඩක් නැත. අබ රසයට එපමණටම අපේ දිව හුරු වී තිබේ. තරු පන්තියේ හෝටල් වලට ද අබ මිශ්‍රණය අත්‍යාවශ්‍ය  රසකාරකයකි.

බ්‍රැසිකා ජුන්සෙයා යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන අබ ශාකය අයත් වන්නේ brassicaceae කුලයට.

අබ වර්ග හඳුනාගන්න 

මෙම ශාක ගණයට ඇතුළත් වන අබ විශේෂ ගණනාවකි. අප අතරේ භාවිතා වන බ්‍රැසිකා ජුන්සෙයා.එළ අබ (brassica alba), කළු අබ (brassica nigra) පෙන්වා දීමට පුළුවන්. වාර්ෂික ශාක ගණයට වැටෙන අබ අතු ඉති විහිදා අඩි තුනක් හතරක් උසට වැවෙන ශාකයකි. කුඩා කිනිත්තක කහපාට කුඩා මල් හටගනී. සෙන්ටිමීටර් හතරක් පමණ ප්‍රමාණයේ කරල් දක්නට ලැබේ. ආර්ථික බෝගයක් ලෙසින් ඉන්දියාවේ චිරප්‍රසිද්ධය. උත්තර ප්‍රදේශ්, බෙංගාලයේ සහ බිහාර් යන ප්‍රාන්ත එහිදී ප්‍රමුඛත්වයක් ගනී. ලංකාවේ ද වියළි කලාපයේ හේන්වල සුළු පරිමාණයෙන් වගා කරනු දක්නට ලැබේ. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී අබ වලට ඉතා ඉහළ වැදගත්කමක් කරගෙන සිටි. සිද්ධාර්ථ සහ සර්ෂප යන නම්වලින් සංස්කෘතයෙන් ලියවී ඇති වෙද පොත් වල හදුන්වා දී තිබේ. එම ග්‍රන්ථ වල අබ වර්ග හතරක් සඳහන් කර ඇත. ඒවායේ ගුණ අගුණ ද වෙන් වෙන් වශයෙන් දක්වා තිබීම පහසුවකි. ඒවා නම් රාජිකා, ගෞර, සිද්ධාර්ථ, රක්ත සිද්ධාර්ථ සහ කෘෂ්ණ රාජිකා ලෙසිනි. දැන් ඒවායේ විශේෂතා පිළිබද විමසීමකට යොමු වෙමු.

රාජිකා සාමාන්‍ය අබ 

මේ අපි ප්‍රයෝජනයට ගන්නා අබ විශේෂයයි. එය රසයෙන් තිත්තය. ඌෂ්ණ ගුණ ඇත. කුසගිනි වඩයි. පිත වර්ධනය කරන අතර සෙම් ආශ්‍රිත රෝග සමනය කිරීම සිදුවේ. කුරුමිණි රෝග වලට ගුණ ලබාදෙන බව සඳහන්ය. ප්ලීහාවේ රෝග, වණ සහ සුව කිරීම සඳහා භාවිතා වේ. 

ගෞර සිද්ධාර්ථ එළ අබ

උෂ්ණ ගුණැතිය. සෙම සහ වාතය සමනය කර ගුණ ලබාදේ. කුරුමිණි රෝග සමනය කරයි. ආමාශයේ හා අන්ත්‍රවල දී ආහාර නිසි ලෙස ජීර්ණය නොවීම හේතුවෙන් හටගන්නා ආමවාත අවස්ථාවේදී, කනේ ආබාධ, ශීර්ෂාබාධ සහ කුෂ්ඨ රෝග සඳහාද ගුණ ලබාදේ. 

රක්ත සිද්ධාර්ථ රතු අබ

සැර අධිකයි. පිත සහ සෙම සමනය කරයි. කුසගිනි වඩන අතර කුරුමිණි රෝග සහ කුෂ්ඨ රෝග සඳහා ගුණ ලබාදේ. 

කෘෂ්ණ රාජිකා කළු අබ 

රක්ත සිද්ධාර්ථ සේම ඇර අධිකය. පිත, සෙම සමනය කරයි. රතු අබ ගුණයම ඇත. 


ආයුර්වේදයේ දී අබ බහුලවම භාවිතා වන්නේ තෙල් වශයෙන් ය. තෙල් සෑදීම සඳහා අබ අඹරා ලබාගන්නා පල්පය භාවිතාවේ. අමුද්‍රව්‍යයක් ලෙස යොදා තනන ප්‍රබලම ඔසුව මහා සිද්ධාර්ථ තෛලය යි. එල අබ ශුද්ධ වස්තුවක් ලෙස සැලකේ.

අඹරාගත් අබ මෙන්ම අබ තෙල් යොදා සකසන ආහාර වල රසය ගැන ඔබට අමුතුවෙන් කිවයුතු නොවේ. අබ තෙල්වල මේදය බහුල නැත. නිතර අබ තෙල් හෝ අබ භාවිතය සුදුසු නොවෙතත් මහත් සේ තරබාරු පුද්ගලයන් සඳහා සතියකට කිහිප දිනක් එබදු ආහාර ගැනීමෙන් තරබාරුබව යම් ප්‍රමාණයකට අඩුකර ගැනීමට හැකිවනු ඇත. අබ ස්වභාවයෙන්ම උෂ්ණ ගුණැති ය. එබැවින් අබ කුළුබඩුවක් ලෙසින් අවස්ථාවෝචිතව භාවිතා කිරීමට ගෘහනියෝ අත්දැකීමෙන්ම දනිති. ඒහෙත් ඖෂධයක් ලෙසින් භාවිතා කිරීමේදී වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ප්‍රඥාගෝචරය ක්‍රියාවකි. 

නමුත් පමණ ඉක්මවා පරිභෝජනය කිරීමෙන් නාසය, උගුර, උදරය ආදී අවයවයන් තුල ඇතිවන දැවිල්ල සමඟ මුත්‍රා දැවිල්ල ද හට ගැනීමේ ඉඩකඩ පවතී. එසේම වකුගඩු රෝගීන් මෙන්ම ගැස්ට්‍රයිටිස් රෝගයෙන් පෙළෙන රෝගීන් සඳහා ද අබ ආශ්‍රිත ඖෂධ ගුණදායක නැත. 

එසේම මතකයේ තබා ගත යුතු තවත් සුවිශේෂ උපදේශයක් දිය යුතුමය. බාහිර වශයෙන් ආලේප තැනීමේදී කළු අබ ද, ශරීර අභ්‍යන්තර රෝග සඳහා එළ අබ ද භාවිත කළ යුතු බව ආයුර්වේදයේ දක්වා තිබේ. මේ සියල්ල අතරේ තවත් සුවිශේෂ කර්තව්‍යක් සඳහා පැරැන්නන් යොදාගත් බවට සාධක තිබේ. එනම් ඇස් වහ, කට වහ දෝෂ දුරු කිරීම සඳහා අබ දුම නිවසට හා ඒ වටා ඇල්ලීම පුරාණ ගැමි සිරිතකි. ඒවායේ සත්‍ය තිබියදී එම දුම් ඇල්ලීම තුළින් විෂබීජ නැසීම සිදුවන බව නම් සත්‍යයකි. මේ බව නූතනයේ පරීක්ෂණ මගින් ද නිගමනය කර ඇත. 

අබ භාවිතයෙන් රුව වැඩීමේ සත්කාර ද කරගත හැකි බව ආයුර්වේදයේ දක්වා තිබේ. හන්දිපත් වේදනාවෙන් මිදී සිරුරේ කාර්යක්ෂමභාවය වැඩි කිරීමට ද, චර්මගත විෂබීජ මර්දනය, සමේ දීප්තිය වැඩි කිරීම, සම එල්ලා වැටීම ආදී තත්ත්වයන් යථා තත්ත්වයට ගැනීම සඳහා ද අබ ප්‍රයෝජනයට ගැනීමට පුළුවන. මෙම ප්‍රතිකාර ඉන්දියාවේ ඉතා දියුණු මට්ටමින් සිදු වේ.


Saturday, December 14, 2019

නිතරම වැලදෙන සෙම්ප්‍රතිශ්‍යාව



වත්මන් සමාජයේ සෙම් රෝගවලින් පීඩා විදින්නෝ අපමණය. මෙසේ සෙම් රෝග ඇති වීමට මුල් වන කරුණු අතර බාහිරින් ශරීරගත වන විෂබීජ වර්ග නිසා සෙම නරක් වීම එක් හේතුවක් වන අතර, ශරීර අභ්‍යන්තරයේම ඇති වන දෝෂ දුශ්‍යතා ඇතුලු නොයෙක් විෂමතා ද ප්‍රධාන කාරණා වශයෙන් සැලකේ. ශරීර අභ්‍යන්තරයට බාහිරින් ඇතිවන ඇතුළු වන විෂ අණු සහ ශරීර අභ්‍යන්තරයේම හටගන්නා විෂ වර්ග වලට විරුද්ධව සෙම සටන් කරයි. සෙම්ප්‍රතිශ්‍යා වෛරස උණත් එසේ මාරන්තික විෂකි. නමුත් දින කීපයක් හෝ ඇතුලත සෙම ප්‍රකෝප වී සටක් කර එම විෂ මැඩ හෙළීමේ ප්‍රතිශක්තිජනක හැකියාවක් සෙම් ධාතුවේ පවතී.

මෙසේ මැරුණු විෂ සෛල සහ ශ්ලේශ්මල පටල දූෂිත පරිසර ආශ්‍රයෙන් ශරීර ගත වන වෙනත් ආගන්තුක බාහිර විෂමතාද සම්මිශ්‍රව තව දුරටත් නරක් වූ විෂ සහිත දියර සෙම ස්පර්ශ වීම හේතුකොට නාසා ග්‍රන්ථි ඉදිමීම නිසා ඇතිවන හුස්ම ගැනීමේ අපහසුතා, දාහය, කිවිසුම් යාමෙන් ඇතිවන පීඩනය නිසා කර්ණනාල ගතවන දියර සෙම නරක් වීම නිසා හට ගන්නා කර්ණශූල, කන්වලින් සැරව ගැලීම, දුර්ගන්ධය, සොටු දිය ගැලීම. ඇස් රතු වී කබ කදුළු ගැලීම, උගුර රිදීම, කැසීම, වේගවත් නාඩිය, උණ, මන්දාග්නිය සහ තවත් උර්ධවගත, උභයගත උපද්‍රව රාශියක් ඇති කරන ප්‍රතිශ්‍යාව ඉතා අනතුරුදායක රෝග අවස්ථාවකි.

සෙම් ප්‍රතිශ්‍යාව වැළදී විට සෙම පැසවා නිසි පරිදි ඒවා ඉවත්ව යන තුරු ස්නානය යෝග්‍ය නොවේ. වෛරසයට විරුද්ධ ශාරීරික ප්‍රතිශක්ති වර්ධනය සදහා අමු ඉගුරු, කොත්තමල්ලි තම්බා කීප වරක් බීම සුදුසුයි. සෙම් කෝපය වැඩිනම් කොත්තමල්ලි බැද පියලි කර 20g, වියළි ඉගුරු 15g, මදක් තලා වතුර පත අට එකට සිද පෙරා උදේ සවස දෙවේලට පානය කළ යුතුය. ඊටම නවරත්න කල්කය මදටිය ඇට 1- 2 ප්‍රමාණයට දියකර බොන්න. සෙම සමනයවේ.

ප්‍රතිශ්‍යාව සමග උණ ඇතිවීම බොහෝ විට සිදුවේ. එවැනි අවස්ථා වල උණ සහ සෙම් ප්‍රතිශ්‍යාව යන ද්‍ර්කම මැඩපැවැත්වීමට ප්‍රතිකාර යෙදිය යුතුයි. ප්‍රතිශ්‍යා උණෙහි දී පළමුවෙන්ම වියළි ඉගුරු, කොත්තමල්ලි, වියළි තිප්පිලි කරල් සුදුසු අනුපාතයට ගෙන මදක් කබලේ බැද මදක් තලාගෙන අවශ්‍ය ප්‍රමාණයට වතුර ටිකක් ලිප තබා උතුරන විට ඉහත බෙහෙත් මිශ්‍ර කර හැලිය වසා හොදින් තැම්බීමට හැර පසුව බීමට අවශ්‍ය ප්‍රමාණය අරං තබා නැවත වසා උතුරුවා හැලිය බිම තබා මුහුණට හොදින් දුම් වදින සේ දුම් හැලියට සෑහ්‍ර්න උසකින් නැමී සිට හිස සහ හැලිය වැසෙන සේ රෙද්දකින් වසා පොරවා මුහුණ පා සිට මුට්ටියේ දුම මුහුණට හොදින් ස්පර්ශ වන ආකාරයට ටික ටික පහත් වෙමින් මුහුණ බදුනට ලංකර දුම් අල්ලන්න.

මෙය ඉතාම ප්‍රවේශමෙන් කළ යුතුයි. විෂ අණු විනාශ කිරීම සදහා ආයුර්වේදයේ එන අගනා භෞතචිකිත්සා ක්‍රමයකි. මෙහෙ සදහන් සියලු ප්‍රතිකාර කුඩා දරුවන්ට කිරීමේදී වෛද්‍ය උපදෙස් නිමැතිව නොකල යුතුයි. එසේ ආරක්ෂාව සහිතව වෙදු පෑමෙන් පසු කළ යුත්තේ සෑදූ ඔසු පැන් කොටස සුදුසු පමණට කීප වරක් පානය කිරීමයි. අනුපානයට ගන්නේ සීනිය.

තවද දෙහි, දොඩම්, නාරං, යකිනාරං, පඹුරු ආදී පස් පැගිරි කොළ තම්බා දුම් ඇල්ලීම ද සෙම්ප්‍රතිශ්‍යාවට අගනා ප්‍රතිකාරයකි.



සම්මානලාභී විද්‍යාපති වෛද්‍ය කීර්ති පණ්ඩිත
ර. මු. ධර්මදාස රන්පත වෙද මහතා

උපුටා ගැනීමකි.

Tuesday, December 3, 2019

රෝග රැසකට ගුණදෙන කොළ කැද පානයක්....



අද ඔබට අප ලබා දෙන්නේ විශ්මිත කොළ කැද පානයක්. බොහෝමයක් ආයුර්වේද පොත පතේ ආමය හෙවත් නොදිරවූ ආහාරය රෝග රැසකට මුල් වන බවත් අර්ශස් රෝග සහ බඩවැල් රෝග ඇති වන්නේ ඒ නිසා බවත් දක්වා තිබෙනවා. ඒ සියල්ල සදහා මේ කොළ කැද පානය සුදුසුයි.

එය විශ්මිත ගුණ දෙන කොළ කැද පානයක් වනවා. වාතය නසනවා. අර්ශස් සුව කරනවා. කොලෙස්ට්‍රෝල් අවම කරනවා. දියවැඩියාව නසනවා. ශරීරය ප්‍රබෝධමත් කරනවා. හොදින් මළපහ පිටකරනවා. මූත්‍රා ආසාදනය නසනවා. වගේම ප්‍රතිජීවනය දෙනවා. මෙම පානය නම් කර තිබෙන්නේ ජීවානන්ද කොළ කැද පානය ලෙසයි.


කොළ කැද පානය සාදාගැනීමට අවශ්‍ය දේවල් 

  • නාඩු හාල් හුණ්ඩු බාගයක්
  • පොල් මිටක්
  • හීනටි හාල් මේස හැදි 1ක්
  • සුදුලූණු බික් 5ක්
  • පැණි ඔළිද ඇට කොළ මිටක්
  • කරපිංචා කොළ මිටක් 
  • හීන් බෝවිටියා කොළ මිටක් 
  • කොහිල දළු මිටක්
  • කරල් හැබ කොළ මිටක් 
  • මොණරකුඩුම්බිය කොළ මිටක් 
  • බීම සදහා හොද කිතුල් හකුරු කැබැල්ලක් 
සාදාගන්නා ආකාරය 
  • සියළුම කොළ වර්ග ලී වංගෙඩියක කොටා යුෂ ගන්න. බ්ලෙන්ඩරයට දමන්න එපා. පොල්ද එයටම දමා කොටා යුෂ ගන්න. වෙනම පොල් කිරි හදාගන්න එපා.
  • නාඩු හාල් ලිපේ තියන්න. තැම්බීගෙන එද්දී හීන්ටි හාල් යොදන්න.
  • එයට යන්තමට තලාගත් සුදුලූණු බික් ටිකත් දමන්න. මෙය නොදමා ඉන්න එපා එය දැමිය යුතුමයි.
  • දැන් කැද හැදීගෙන එද්දී එයට කොළ යුෂ ටික පෙරා දමන්න. හොදින් හැදි ගාන්න. 
  • කැද හැදුණු පසුව වීදුරු 2 කට දමාගන්න. එකක් ඔබ බොන්න. අනෙක ඔබ ආදරය කරන් කෙනෙකුට දෙන්න. ඒක දිව්‍ය පානයක්.
මෙය සෑම දිනකම පානය කරන්න. මෙය පානය කර පැය 3ක් යන තෙක් කිසිම ආහාරයක් ගන්න එපා. තේ එකක් වත් බොන්න එපා. පැය 3කට පසු සැහැල්ලු ආහාරයක් ගන්න.

උපුටා ගැනීමකි. 



Wednesday, November 27, 2019

විශ්මිත ශීර්ෂාලේපයක් ගෙදරදීම හදාගන්න.....



හිසරදය කියන්නේ බාල මහළු කොයි කාටත් නිතර හැද්‍ර්න ලෙඩක්. මේ සදහා මේ සදහා විවිධ බාම් වර්ග වෙළදපොලේ තිබෙනවා.  වාණිජ මට්ටමින් ආයුර්වේද බාම් වර්ග නිෂ්පාදනය කරනකොට ගුණාත්මක තත්වය ගැන හිතන්න ටිකක් අමාරුයි. එහෙමයි කියලා ආයුර්වේද ශීර්ෂාලේප වල ගුණය ගැන අඩු තක්සේරු කරන්න හොද නෑ. ආයුර්වේද කියන්නේ පුදුමාකාර ලෙස ස්වභාව ධර්මය මිනිසාගේ සුවයට සනීපයට යොදාගත් දුර්ලභ දැනුම් සම්භාරයක්.

අද ඔබට හදුන්වා දෙන්නේ අති විශ්මිත සුවයක් ගෙන දෙන විශ්මිත ආයුර්වේද බාම් එකක්. මේ ආයුර්වේද බාම් එක ඔබ හැදුවේ නැතත් මේ වට්ටෝරුව පරිස්සම් කරල තියාගන්න කවදහරි ඔබට වැදගත් වේවි.

මේ බාම් එකෙන් හිසරදය, ඉරුවාරදය සනීපවෙනවා පමණක්ම නොවෙයි. මානසික වශයෙන් ස්නායු ලිහිල් කරනවා. ඒ නිසාම මානසික පීඩනය අවම කරනවා. දෑස් පියාගෙන මේ සුවය ඔබට විදින්න පුළුවන්.

විශ්මිත ආයුර්වේද බාම් එක සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය 

  1. ලැවෙන්ඩර් ඔයිල් මේස හැදි 2 ක් 
  2. කොහොඹ තෙල් මේස හැදි 2 ක් 
  3. තැඹිලි තෙල් මේස හැදි 1 ක් 
  4. වියලාගත් සමන් පිච්ච මල් 50 ක්
  5. කුරුදු තෙල් මේස හැදි 1 ක් 
  6. සුදු සදුන් තෙල් මේස හැදි 1 ක් 
  7. ඉගුරු ඉස්ම තේ හැදි 1 ක් 
  8. පැරපින් ඉටි හෝ මී ඉටි මේස හැදි 4 ක්
සාදාගන්නා ක්‍රමය
  • සාස්පානක් ලිප තියන්න. ඒකට වතුර කෝප්පයක් දමන්න. මේ සාස්පානට උඩින් තවත් සාස්පානක් තියන්න. යට සාස්පානෙන් එන හුමාලය වදින ලෙසයි එය තැබිය යුත්තේ. දැන් උඩින් තැබූ සාස්පානය පැරපින් ඉටි හෝ මී ඉටි දමාන්න. හොදින් දියවෙන්න දෙන්න. 
  • දැන් ලිපෙන් පිටතට ගෙන එයට සියළුම තෙල් වර්ගත්, ඉගුරු ඉස්මත්, වියලාගත් සමන් පිච්ච මල් ටිකත් දමන්න. හොදින් මිශ්‍ර කරන්න.
  • දැන් මේ මිශ්‍රණය ෆාමසියකින් ගත් පිරිසිදු බාම් බදුනක දමා තබන්න. ටික වේලාවකින් මේ මිශ්‍රණය ඝන වෙනවා.
  • ඉන්පසු පාවිච්චියට ගන්න.
සාමාන්‍ය බාම් එකක් ගාන ලෙසම ගාන්න පුළුවන්. ඉතාම සුවදැති මේ ආයුර්වේද බාම් වර්ගය අති දුර්ලභ එකක් බවත් එය සාමන්‍ය කඩෙන් ගන්නා බාම් වර්ග වලට වඩා සිය ගුණයක් ගුණදෙන ආලේපනයක් බවත් මතක තබාගන්න.

උපුටා ගැනීමකි.


Sunday, November 24, 2019

ගෙදරදීම දිය හැකි හොදම අත් බෙහෙත් කිහිපයක්....




  • හිසේ ඇතිවන ඉස්හොරි තුවාල වලට 
බීට් අලයක් ගෙන එය තලා ඉස්ම ගෙන හිසේ ගල්වා පැය බාගයකට පසු නාන්න. සතියකට දෙතුන් වරක් දිගටම මේ ලෙස කිරීමෙන් සහනයක් ලබා ගත හැකිය.

  • දරුවන්ගේ කිරිපණු ගායට
ඇත්තෝර කොළ දළු ස්වල්පයක් එරබදු කොළ ස්වල්පයක් ගොටුකොළ මිටක් සමග දමා සම්බෝලයක් සාදා බත් සමග කන්නට දෙන්න. දින කිහිපයක් කන්නට දෙද්දී කිරිපණුවන් හැලී කිරි පණු ගාය සුවවේ.

  • බඩගිනි නොඑන අයට
මුං ඇට තම්බා වතුර බොන්න. ඉන් බඩගිනි වැඩේ.

  • රාත්‍රියට නින්ද නොයන අයට
රෑ ආහාරයත් සමග රතුලූනු බික් තුන හතරක් අමුවෙන් කන්න. ටික වෙලාවකින් තද නිදිමත ගතියක් එයි.

  • මුඛ දුර්ගන්ධයට
කට ගද සමහර අයට ලොකු හිසරදයක්. කොතරම් දත් මැද්දත් කුමන දත් බෙහෙත් පාවිච්චි කළත් කට ගද නැතිවෙන්නේ නැති අවස්ථා තිබෙනවා. එහෙම අය නිතර නිතර කොත්තමල්ලි ඇට කිහිපයක් විකලා කන්න. දින තුන හතරක් මෙහෙම කරද්දී ඉබේම කටගද නැතිවෙනවා.

  • අධික මත්පැන් ගැනීම නිසා ඇතිවන මතට
කංකුං මිටක් ගෙන එය තලා ඉස්ම රැගෙන බොන්නට දෙන්න. ඉන් මත තුනී වී යයි. වමනය ඇති වුවද වමනය යාමෙන් පසු මත් ගතිය අඩුවේ.

  • නිතර නිතර පොල් සම්බෝල කනවා නම්
පොල් සම්බෝලයට දමන අධික පොල් ප්‍රමාණය නිසා පොල් සම්බෝලය සමහර අයට අගුණ වෙන්නට පුළුවන්. රෑට පොල් සම්බෝල කෑවම රාත්‍රීය පුරා බඩ බුරුල් කරල යන බවක් නිතර අසන්නට ලැබෙනවා. මේ පීඩාවෙන් මිදෙන්නට නම් සම්බෝල හදද්දී ගම්මිරිස් ඇට ටිකකුත් ඊටම තලා දමන්න. එවිට පොල් සම්බෝලයෙන් බඩ බුරුල් කරවන ආම ගතියක් ඇතිවෙන්නේ නැහැ.

  • ඔසප් දිගටම ප්‍රමාද නම්
සූදුරු තම්බා බොන්න. ඉක්මනින් ඔසප් වෙයි. ටික ටික ඔසප් වෙනවා නම් ඒත් සූදුරු බොන්න. එවිට කඩින් කඩ යාම නැවතී එක දිගට ඔසප් වීම සිදුවේ. සූදුරු සමග බෙහෙත් බඩු කඩයෙන් ගත හැකි සතුකුප්පා තම්බා බීමෙන් හොද ප්‍රතිඵල ලැබේ.

  • බඩේ කැක්කුම ඉක්මනින් දුරු කරලන්නට
කරාබු නැටි කිහිපයක් විකා ගිලින්න. ඔබ හිතනවාට වඩා ඉක්මනින් බඩේ අමාරුව සන්සිදේ.

  • දරුවන්ගේ මුවින් පිටවන පණු කෙල නතර කිරීමටයි 
කරාබුනැටි හොදින් තලා එය වතුර කෝප්පයක දමා පැයක් පමණ තබන්න. පසුව දරුවාට එය නින්දට පෙර බොන්න දෙන්න. පණු වමනය වලකී.

  • සමේ ඇතිවන බිබිලි හා වෙනත් ආසාධබ අඩුකර ගැනීමට
හැමදාම නාන්නට පැය බාගයකට පෙර පිරිසිදු පොල්තෙල් ටිකක් ගෙන ශරීරය පුරාම ගල්වා මෘදුව සම්බාහනය කරන්න. පොල්තෙල් වල ඇති විෂ නසන ගුණයත් ධාතු බලයත් සමට ලැබෙනවා. පැය බාගයකට පසු නාන්න. දිගටම කිරීමෙන් සම වයසට යාම වැලකේ.

  • සම ඉක්මනට වයසට යනවානම්
හොද මීපැණි බෝතලයක් සොයාගෙන දිනපතා නාන්නට පෙර මීපැණි තේ හැදි 2 ක් ගෙන ශරීරය පුරාම ගල්වන්න. විශේෂයෙන් අත්වල දෙපා වල සහ මුහුණේ ගල්වන්න. පැය බාගයකට පසු නාන්න. දිගටම කිරීමෙන් සම වයසට යාම වැලකේ.

  • පිරිමි ළමයින්ගේ අණ්ඩග්‍රන්ථිය ඉදිමීමට
යොවුන් වියට පැමිණි පිරිමි ළමුන්ගේ අණ්ඩග්‍රන්ථිය ඉදිමීම සුලභ දෙයක්. රෝගයක් නොවුනත් බොහෝ අය මේ තත්වයට බිය වෙනවා. එවැනි දිනවල එක දිගට වැල්පෙනෙල තම්බා බොන්න. නැත්නම් වැල්පෙනෙල කැද බොන්න. ඉදිමුම බැසයයි.

  • දරුඵල ප්‍රමාදද
බිරිද හා සැමියා යන දෙදෙනාම එක දිගට වැල්පෙනෙල කැද බොන්න. නිසරු ඵල සරු වේ.

උපුටා ගැනීමකි.